ආබාධිත සෙබළු පිරිසකට වරප්‍රසාද අහිමි කළ බවට ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට චෝදනා

disable solders

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරතව සිටියදී ආබාධිත වූ සෙබළුන් පිරිසකට වරප්‍රසාද අහිමි කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සඳුදා (මැයි 22) ජාතික මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ක්‍රියාන්විත සේවයේ නිරතව සිටියදී සෘජු එල්ටීටීඊ ප්‍රහාරයකට ලක් නොවූවත්, ගැටුම්වලට සම්බන්ධ සෙසු ක්‍රියාකාරකම්වලදී ආබාධිත වූ තමන්ට වයස අවුරුදු 55 තෙක් හිමි වැටුප් සහ දීමනාත්, ඉන්පසුව විශ්‍රාම ගැනීමේ හිමිකමත් අහිමි කළ බවට චෝදනා කරමින් ආබාධිත සෙබළුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

යුද හමුදා ගැමුණු හේවා බළඇණියේ සේවයේ නිරතව සිටියදී එසේ ආබාධිත වූ සෙබළුන් වෙනුවෙන් පසුගිය වසරේ සැප්තැම්බරයේ එම පෙත්සම ගොනු කරනු ලැබුවේ කෝප්‍රල් ආර්ඩී විමලසේන ඇතුළු පිරිසක් විසිනි.

ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවෝය.

ඔවුන් “මව්බිමේ නොසලකා හැරි සෙබළුන්ගේ එකමුතුව” නම් සංවිධානයක්ද පිහිටුවාගෙන තිබේ.

ඔවුන්ගේ පෙත්සම විභාග කිරීමට තීරණය කළ ජාතික මානව හිමිකම් කොමිසම සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින මෙන් පසුගියදා ඔවුන්ට සිතාසි නිකුත් කළේය.

සක්‍රීය සේවයේ නිරතව සිටියදී ප්‍රහාරවලට සෘජුව සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත වූ තමන් 20% ත් 30% ත් අතර ආබාධ සහිත පුද්ගලයන් බවට වෛද්‍යවරුන් විසින් සහතික කරනු ලැබ තිබියදීත් යුද හමුදා බලධාරීන් විසින් තමන් අත්හැර දමා ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

ඔවුන් ආබාධිත වී තිබෙන්නේ සක්‍රීය සේවයේ නිරතව සිටියදී සතුන්ගේ ප්‍රහාරවලට ලක්වීම, වැව් හෝ ගංගා ඇළදොළ ආදියේ වැටී තුවාල සිදුවීම, රිය අනතුරු සහ ගස් නගිද්දී ඇද වැටීම වැනි කරුණු හේතුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ ස්වයේ නිරතව සිටියදී තමන් හා සමාන ආබාධිත තත්වයන්ට පත් වූ පිරිස සියළු වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් සහිතව විශ්‍රාම ගන්වා තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

එබැවින් සෘජු ගැටුම්වලදී ආබාධිත වූ සෙබළුන්ට සහ නිලධාරීන්ට ලබා දුන් වැටුප් සහ දීමනා තමන්ටද ලබා දෙන මෙන් වග උත්තරකරුවන්ට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති.