කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන්

wesak

ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමිව කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධ ශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

එහි එක් පියවරක් වශයෙන් දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී කුලදරුවන් 75 දෙනෙකු සහ ඓතිහාසික රුවන්වැලි මහාසෑය අභියස දී කුලදරුවන් 215 දෙනෙකු සසුන්ගත කළ බව ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ ගණනාවක දී ක්‍රියාත්මක වනු ඇති බව කී ඇමතිවරයා විසින් එම වැඩසටහන හඳුන්වනු ලැබුවේ “බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන මහඟු යුතුකමක්” ලෙසය.

ශ්‍රී ලංකාව තුළ “අහස උසට වෙහෙරවිහාර, චෛත්‍ය නිර්මාණය වී තිබුණ ද” ශාසනය ඉදිරියට ගෙන යාම සඳහා කුලදරුවන් අත්‍යවශ්‍යවන බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ අනුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.