මීතොටමුල්ල කසල එම ස්ථානයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නවා -අමාත්‍ය ඉසුර දේවප්‍රිය

B

මීතොටමුල්ල කසල එම ස්ථානයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඒ සදහා අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය

අද (අප්‍රේල් 19) බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය
හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.

එසේම මීතොටමුල්ල කුණු කන්ද පවතින ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් එකක් බැවින් ඉඩම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවට කිසිවක් කළ නොහැකි බවද හෙතෙම සදහන් කළේය. කරදියාන කසල අංගනයට කොළඹ කසල බැහැර කිරීමට තීරණය කර ඇත්තේ තමාගේ අනුදැනුමින් තොරව බවද කෙසේ වුවත් එය තාවකාලිකව පමණක් ක්‍රියාත්මක වන බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් කළබල විය යුතු නැතියි ඒ මහතා සදහන් කළේය.

කරදියාන, දොම්පේ වැනි කසල බැහැර කිරීමේ අංගනයන් ඉතා විධිමත්ව පවත්වාගෙන යන ඒවා බැවින් මින් පසුව විධිමත්ව වර්ග නොකරන ලද කසල බස්නාහිර පළාතේ කසල බැහැර කිරීමේ අංගනයන් වෙත භාර නොගැනීමට කටයුතු කරන බවද මහ ඇමතිවරයා අවධාරණය කළේය. බස්නාහිර පළාත් සභාවට අයත් සෙසු මහ නගර සභා සහ නගර සභා විධිමත්ව කසල බැහැර කරතත් කොළඹ මහනගර සභාවේ පමණක් වෙන් කිරීමකින් තොරව
කසල බැහැර කරන බව විශාල ගැටලුවක් බව ඒ මහතා පෙන්වා දුන්නේය. ජනතාව නිවෙස් වලින් කසල වෙන් කර ලබාදුන්නත් කසල එකතු කිරීමේ කටයුතු වල නිරත වන පුද්ලගලික අංශයේ සේවකයන් ඒවා වෙන් නොකිරීම නිසා ගැටලුව ඇති වී තිබෙන බව මහ අැමතිවරයා පෙන්වා දුන්නේය.

මීට පෙර අවස්ථාවකදී සුසිල් කිදෙල්පිටිය මන්ත්‍රීවරයා ඉංජිනේරුවන් සමග කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මීතොටමුල්ල කුණු කන්ද නාය යන බව පැවසී යැයිද එම අවස්ථාවේ ජනතාව වෙත පූර්ව දැනුම් දීමක් කළ බවත් ඒ මහතා පැවසීය. එම අවස්ථාවේ ජනතාවට රුපියල් 15000ක නිවාස කුලියක් මසකට ලබාදීමට එකගව ජනතාව එම ස්ථානයෙන් ඉවත්කීරීමට උත්සාහ ගත්තද යම් යම් කණ්ඩායම් වල උසි ගැන්වීම් නිසා එය අසාර්ථක වූ බවද දේවප්‍රිය මහතා සදහන් කළේය. මෙවන් අවස්ථාවට විවිධ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විවිධ කණ්ඩායම් මෙම ගැටලුවට මැදිහත් වී
ජනතාවට තීරණයක් ගැනීමට ඉඩ නොදීම මහත් අසාධාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.