අමාත්‍ය ජෝන් අමරතුංග සමග මත ගැටුමක් -රෝස් ප්‍රනාන්දු ඉල්ලා අස්වී තිබේ

Rose fdo

එජාප කටාන ආසන සංවිධායිකා, බස්නාහිර පළාත් මන්ත්‍රීනි රෝස් ප්‍රනාන්දු මෙනවිය ඇය විසින් දරනු ලබන සියලුම පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ බැව් සඳහන් ලිපියක් තමන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හා පක්ෂ මූලස්ථානය වෙත යොමු කොට ඇතැයි ඇය අද (19) කාටාන එජාප කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළාය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට කුලී රථ සේවා පහසුකම් සැපයීමේ කවුළුවක් අධිකරණ නියෝග මත නීත්‍යනුකූල ටෙන්ඩරයක් මගින් ලබාදී තිබියදී එයට පරිබාහිරව සංචාරක බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අධාරකරුවන්ටද කුලී වාහන බලපත් දෙන තත්ත්වයක් උදාවී ඇති බව ඇය කියා සිටියි.

මෙම කාරණයට අදාළව ජෝන් අමරතුංග මහතා හා තමන් අතර මත ගැටුමක් නිර්මාණයවූ බවත්, ඇමතිවරයාගේ මෙම යහපාලන විරෝධී ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බව රෝස් ප්‍රනාන්දු මෙනවිය අවධාරණය කළාය.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මැදිහත්වී මෙවන් යහපාලන විරෝධී ක්‍රියාවන් වහා නැවැත්විය යුතුව ඇති බවත්, තමන් කිසිවෙකුටත් ණය හෝ බය නැති බවත් ඇය කියා සිටියාය.