මීතොටමුල්ල නායයාමෙන් අතුරුදන් වූ ප්‍රමාණය පිළිබද නිසි සදහනක් නෑ

Meethotamulla 6

මීතොටමුල්ල නායයාමෙන් අතුරුදන් වූ ප්‍රමාණය පිළිබද නිසි සදහනක් නොමැති
බැවින් ලැබී ඇති තොරතුරු මත පිහිටා අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව  සිදු කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අතුරුදන් වූවන් පිළිබද තොරතුරු රැස්කිරීමේ මධ්‍යස්ථානය වන මීතොටමුල්ල
ශ්‍රී රාහුල විද්‍යාලයේදී ඊයේ (18) නීතිය සාමය හා දක්ෂිණ අමාත්‍යවරයාගේ
ප්‍රධානත්වයෙන් ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පැවති රැස්වීමකින්
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම සිදුවීමෙන් කොපමණ පුද්ගලයන් ප්‍රමාණයක් අතුරුදන්ව ඇතිදැයි නිශ්චිතව
පැවසිය නොහැකි බවත්  30කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට විශ්වාස කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පැවසීය.

මීතොටමුල්ල නායයාමේ සිද්ධිය  සිදු වන අවස්ථාවේ ප්‍රදේශයේ කොපමණ පිරිසක් සිටියාද යන්න පිළිබදව මේ වන විට නිසි සදහනක් මේ වනතෙක් නොවීම අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු සදහා බාධාවක් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාද සදහන් කරයි.

ඒ අනව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සපයනු ලබන අවිනිශ්චිත තොරතුරු මත අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු වල නිරත වන බව හෙතෙම සදහන් කළේය.

කෙසේ නමුත් සෝදිසි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒ මහතා අවධාරණය කළේය. එසේම අද දිනයේ කරන ලද මෙහෙයුම් වලදී මළසිරුරු තුනක් සහ එක් ශරීර කොටසක් සොයා ගැනීමට හමුදා භටයින් සමත්ව තිබේ.

එසේම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව නිවාස 79ක් පූර්ණ වශයෙන් සහ නිවාස 17ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ. පවුල් 228කට අයත් පුද්ගලයන් 980ක් ආපදාවෙන් හානියට පත්ව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. මීතොටමුල්ල ටෙරන්ස් එන් සිල්වා විදුහලේ පවුල් 26 කට අයත් පුද්ගලයන්  180ක් මේ වන විට රදවා ඇත.

එසේම ආපදාවෙන් හානියට පත් වූ දේපල පිළිබද තක්සේරු කිරීම සදහා ත්‍රිවිධ
හමුදාව, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තක්සේරු දෙපාර්තමේන්තුව,
කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 50කගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට පත් කර ඇත.