අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගන්න ඕනෙ නැහැ: විමල් වීරවංශ

wimal-weerawansa-

ඉකුත් ජනවාරි 10 වනදා සිට සිරගතව සිට අද (07)  අධිකරණයෙන් ඇප ලබා ගත් විමල් වීරවංශ මහතා තමාට අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගැනීමේ උවමනාවක් නොතිබූ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේය.

අද (07) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ දින 87කට පසු මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ මට ඇප ලබා දෙන්න කියලා නීති අංශවලට අගමැතිවරයා උපදෙස් දී ඇත්නම්  එයින් පැහැදිලි වෙන්නේ, මාව දින 87ක් රඳවාගෙන ඇත්තෙත් ඔහුගේ උපදෙස් මත බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට ඉන් ඔහු කර ඇති අවමානය ඉතාමත් බරපතළයි. අද පළව ඇතැයි කියන ප‍්‍රවෘත්තියෙන් පෙනී යන්නේ ‘ බළලා මල්ලෙන් එළියට පැන’ ඇති ආකාරයයි.

ඒ වගේම කියන්න  ඕනි, අපට අගමැතිවරයාගෙන් පමණක් නොවෙයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හෝ හිගා කාලා ඇප ලබා ගන්න කිසිඳු උවමනාවක් නැහැ. අපි මාස තුනක් හිරේ හිටියේ ඒ අයගෙන් හිගා කාලා ඇප ලබා නොගත්ත නිසයි. අධිකරණයෙන් ලැබුණු ඇපවල  ලකුණු දමාගන්න කවුරුහරි බොරු ෂෝ දමනවා නම් ඒක ඉතා පහත් පෙළේ උත්සාහයක්.

ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා අගමැතිතුමාටත්, ජනපතිතුමාටත් කිසිඳු පිළිගතහැකි චෝදනාවකින් තොරව මාව මාස තුනක් හිරේ දාලා මේ රටේ දේශපාලනයේ ඉදිරි පරිච්ජේදය නව ජවයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දීම පිළිබඳව. අපි මතක්කර දෙන්න  ඕනෙ එක කාරණයක්.

‘‘ උඳුන රත් වුණාට පස්සේ තමයි වානේ හොදට පදම් වෙන්නේ. ’’ ‘‘ උඳුන ’’ රත් කරපු ඒ සියලූම  මහත්වරුනට මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවනීතියේ අවනඩුවේදී  අපට සහාය දැක්වූ සියලූම මාධ්‍ය ආයතනවලටත්, අසත්‍ය පුවත් මවමින් අපට මඩ ගසා  අපේ සිතට ධෛර්යයක්ගෙනදුන් ඇතැමුන්ටත් අප ස්තුතිය පළ කරනවා.’’

විමල් වීරවංශ මහතාට ඇප ලබා දී මේදී සුවිශේෂී කරුණු ලෙස වීරවංශ මහතාගේ දියණිය රෝගාතුර වීම මෙවර අපොස සා.පෙ විබාගයට පෙනී සිටීම යන කරුණු අධිකරණය විසින් සළකා බැලිණි.