රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ : සරත් වීරසේකර

Sarath weerasekera

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙරටට විදෙස් විනිසුරැවන් නොගෙන්වන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දුන්නද රජයේ නියෝජිතයා වශයෙන් එක්සත් ජාතින් ඉදිරියේ පෙනී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කරන්නේ ඊට සපුරා පුතිපක්ෂ දෙයක් යැයි නාවික හමුදා රියර් අලුමිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

ඉකුත්දා පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධානයක මාර්ගයෙන් ඉදිරිපත් වූ ලද අත්දැකීම් පිළිබද සදහන් කරමින්  මාර්තු 30 බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මංගල සමරවීර මහතා ඉකුත් පෙබරවාරි 23 වැනි දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසේන් කුමරැ ශ්‍රී ලංකා හමුදාවට ප්‍රතිපක්ෂව ඉදිරිපත් කර ඇති කරැණු අනුමත කරමින් කතා කළ බවද හෙතෙම කීය. එසේම අමාත්‍යවරයා මේ පිළිබද සලකා බැලීමට වසර දෙකක කාලයක් ඉල්ලා සිටි මුත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරැණු ඉදිරිපත් නොකළ බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ නොකළ බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව පැවතියදී එසේ නොකර සිටින බවද ඒ මහතා සදහන් කළේය.

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තමාට එහිදී කරැණු දැක්වීම සදහා ලැබුණේ විනාඩි එක එමාර බැගින් වූ අවස්ථා දෙකක් බවද දෙමළ ඩයස් පෝරා නියෝජිතයන්ට එවන් අවස්ථා විස්සක් පමණ හිමි වූ බවද හෙතෙම කීය. උසාවියක මෙන් සාක්ෂි සහිතව මෙහිදී කතා කිරීම අනවශ්‍ය බැවින් ඔවුන් හමුදාවට තම අභිමතය පරිදී අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

එබැවින් ලබන වසරේදී මීට වඩා වැඩි කාලයක් ලබා ගැනීමටත් වඩා හොද වාර්තාවක් සකස් කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.

තමාට විශ්ව විද්‍යාල ආචාර් සංගමයේ සමාජිකයන් වැනි විද්වතුන් සකස් කර දුන් වාර්තාවක් එහිදි ඉදිරිපත් කළ බවත් ඒ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට ඇති යුධ අපරාධ චෝදනා සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් සකස් කළ බවත් ඒ මහතා සදහන් කළේය.

මෙම අවස්ථාව සදහා මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරැවන්ද සහභාගී වූහ.