ඒ අයට මේක ඉන්ටනැෂනල් වගේ තේරෙන්නේ නැත්තේ ෆ්ලයිට් එකක යන්නේ නැති හින්ද වෙන්න ඇති

_MG_8630

සංවාදය සහ සටහන – පාලිත අබේලාල්

නාට්‍ය ලෝකයේ හිතුවක්කාරී රස්තියාදු කාරයෙක් වන එම්.සෆීර් ඉසව් ගණනාවක අත්දැකීම් ඇති කලාකරුවෙකි. ඔහු ඇතුළු Inter Act Art කණ්ඩායම විසින් සංවිධානය කරන Colombo International Theatre Festival ( CITF)නම් ජාත්‍යන්තර නාට්‍ය උළෙල අපේ‍්‍රල් මස 4 වනදා සිට 9 වන දින දක්වා කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. ඒ පිළිබද බොස්ටන් ලංකා සමගින් ඔහු සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

_KSR3155

මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇති ආකාරය පිලිබඳව විස්තර කලොත්?

අපේ ෆෙස්ටිවල් එක කොටස් හයක් විදියට පැවැත්වෙන්නෙ. අපේ‍්‍රල් 3 වෙනිදා සමාරම්භක උළෙල, මෙහිදි ලාංකීය නාටය කලාවට ලූෂන් බුලත්සිංහලයන් දැක්වූ දායකත්වය වගේම ජපානයේ නූතන නාට්‍ය කරුවෙකුව වන කෙන්ජිරෝ ඔටානිත් ඇගයීමට ලක්වෙනවා. මේ කාර්යය සිදුවෙන්නේ ගල්කිස්ස මවුන්ට් ලැවිනියා හෝටලයේදී. දෙවන කොටස තමයි අපේ‍්‍රල් 4 සිට 9 වනදා තෙක් පැවැත්වෙන දේශීය සහ විදේශීය නාට්‍ය ප‍්‍රදර්ශණය.

මෙතනදී ලංකාව, ඉන්දියාව,බෙලරූස්, ආමේනියා, ප‍්‍රංශයෙන් සහ ජර්මනිය යන රටවල් වලින් නාට්‍ය දොළහක් කොළඹ බ්‍රිතාන්‍ය පාසල් රංග ශාලාවේදී(British International School Auditorium) සවස 7 ට වේදිකාගත වෙනවා. තුන්වන කොටස විදියට 5වනදා සිට 9 වනදා දක්වා ඉනිදියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී විදේශීය නාට්‍යකරුවන්ගේ මූලිකත්වයෙන් නාට්‍ය වැඩමුළු මාලාවක් පැවැත්වෙනවා. මේ සඳහා නාට්‍ය උළෙලට නිර්මාණ ඉදිරිපත් කල විදේශීය නාට්‍ය කරුවන්ට අමතරව විශේෂ සම්පත් දායකයන් කිහිපදෙනෙක්ද සහභාගි වෙනවා. සිව්වන අංගය විදියට5 සිට 7 වනදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික ආයතනයේදී අන්තර්ජාතික අධ්‍යක්ෂකවරුන්ගේ හමුව පැවැත්වෙනවා. මේ සැරේ තියෙන විශේෂත්වය තමයි අපේ ප‍්‍රධාන නාට්‍ය උළෙලට සමමීවඟාමීව නාට්‍ය උළෙලක් මඩකළපුව විශ්ව විද්‍යාලයේ විපුලානන්ද ආයතනයේ පැවැත්වීම. මේ කාර්යය මාර්තු 31 සිට අපේ‍්‍රල් 2 වනදා දක්වා පැවැත්වෙනවා

 ඇයි ඔබ අන්තර් ජාතික නාට්‍ය උළෙලක් ලංකාවට හදුන්වා දීමට යොමුවුණේ?

මේකට හේතු කීපයක් තියෙනවා. මම ඒ නාට්‍ය උළෙලවල් වලට සහභාගී වෙනකොට ඔවුන් මගෙන් අහනවා ලංකාවේ අන්තර්ජාතික නාට්‍ය උළෙලවල් නැද්ද කියල. ඒ අය පුදුම කැමැත්තක් තියෙන්නේ අපේ රටේ නාට්‍ය උළෙලකට සහභාගිවෙන්න. අනික් කාරණය තමයි අපිට ලෝකෙත් එක්ක ගණුදෙනු කරන නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට නම් අන්තර්ජාතික නාට්‍ය උළෙලක් අවශ්‍යම වෙනවා.

මේ නාට්‍ය උළෙලට ඇතුළත්වන නාට්‍යවල ගුණාත්මක බව පිළිබඳව ඇතැම් අයගේ විවේචන පවතිනවා නේද?

විවේචන කාටත් කරන්න පුළුවන්, කරන්නනෙ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තෙ. ඇත්තටම ලෝකෙ ඉහළ මට්ටමේ නාට්‍ය උළෙලවල් වල පවා විවිධ මට්ටම්වල නාට්‍ය රඟදැක්වෙනවා. මේ නාට්‍ය උළෙලට එන නාට්‍ය හොඳ හෝ නරක වෙන්න පුළුවන්. එතකොට නාට්‍ය කරුවන්ට හොඳ නාට්‍යයක් කරන්නේ කොහොමද, නරක නාට්‍යක ලක්ෂණ මොනවද කියල අත්දැකීමක් ගන්නත් පුළුවන්. අඩුම තරමේ නාට්‍ය කරුවන්ට අන්තර්ජාතික අත්දැකීමක් ලංකාවෙදිම ලාබාන්නවත් පුළුවන්.

DSC_6919

CITF එකට අන්තර්ජාතික වශයෙන් මොනවගේ පිළිගැනීමක්ද තියෙන්නේ?

මේ වෙනකොට අපේ නාට්‍ය උළෙලට රටවල් 80 කින් විතර 200 කට වැඩිඅයදුම්පත් ප‍්‍රමාණයක් යොමුකරන තත්ත්වයකට ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවා. මේ වසර පහක් තුල ලබාගත්ත ජයග්‍රහණයක්. ඇත්තටම මේක පුද්ගලිකව මගේ ජයග්‍රහණයක් නෙවේ. පොදුවේ ලංකාවේ නාට්‍යකලාව ජත්‍යන්තරය යෑමක්. ඒ සඳහා ඇගයීම් ලැබීමක් විදියට මම සළකන්නේ.

අන්තර්ජාතික නාට්‍ය උළෙලවල් වලට වසරකට නාට්‍ය කිහිපයක් හෝ ඉදිරිපත් කරන නිර්මාණකරුවන් ඉන්න අපේ රටේ මේ අන්තර්ජාතික නාට්‍ය උළෙල සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සිදුවන්නේ නැත්තේ ඇයි?

ඒඅයට මේක ඉන්ටනැෂනල් වගේ තේරෙන්නේ නැත්තේ ෆ්ලයිට් එකක යන්නේ නැති හින්ද වෙන්න ඇති. ඇත්තටම ඒක නාට්‍යකරුවන්ගේ ප‍්‍රශ්ණයක් මිසක් මගේ ප‍්‍රශ්ණයක් නෙවේ. ඒකට නාට්‍යකරුවෝම තමයි උත්තර දෙන්න ඔන. අද ඒ අයට මේක අවශ්‍ය නැතිවුනත් යම් දවසක මේකෙ අවශ්‍යතාවය ඒ අයට ඇතිවෙයි. මේ වනවිටත් යම් ප‍්‍රවණතාවයක් ගොඩනැගී තියෙනවා.

4 (1)

ඔබේ අත්දැකීම් අනුව ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවගේ පවතින්නේ මොනවගේ ආකල්පයක්ද?

නාට්‍ය කලාව සම්බන්ධයෙන් අතීතයෙ පැවති ඝෘණාත්මක ආකල්පය ඒ විදියටම තවමත් තියෙනවා. අපේ රටේ මේ ජාත්‍යන්තර නාට්‍ය උළලවල් සම්බන්ධයෙන් වැරදි අවබෝධ කීපයක් තියෙනවා. එකක් තමයි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කියන්නේ නිකන් මේ වානිජ උත්සවයක් කියල. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ලෝකයේ  ඕනම ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පවත්වන්නේ ඒ ඒ කෂේත්‍රවල ඉන්න අයට නාට්‍ය නරඹන්නට මිසක් පොදු ජනතාවට බලන්න නෙවේ. හැබැයි අවශ්‍ය නම් ඒ අයටත් නාට්‍ය නරඹන්න තහනමක් නෑ. අවාසනාවකට අපිට නාට්‍ය කලාවේ වෘත්තීය මට්ටමේ ශිල්පීන් 1000 ක් වත් නැති තත්ත්වයක් තුල තමයි අපි මේ නාට්‍ය උළෙල පවත්වන්නේ.

මේවගේ තත්ත්වයක් තුල ලංකාවේ නාට්‍ය කලාවේ අනාගතය අර්බුධයක නේද තියෙන්නේ?

සත්‍යවශයෙන්ම, මේ සැරේ අපේ නාට්‍ය උළෙල යුරෝපය, ඉන්දියාව සහ ලංකාව කියන අංශ 3ක් යටතේ තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. මේකට යුරෝපය නියෝජනය කරන්නේ ඒ රාජ්‍යයන්වලින් පඩි ලබන, ගිවිසුම් අනුව නිර්මාණ කාර්යයේ යෙදෙන වෘත්තීය නිර්මාණකරුවන් ඉන්න තියටර් කම්පැනිවල නාට්‍ය කණ්ඩායම්. ඉන්දියාවෙන් එන්නෙත් නාට්‍ය කණ්ඩායම්. ලංකාව නියෝජනය කරන්නේ නාට්‍ය කණ්ඩායම් නෙවේ. නාට්‍ය හදපු අය. මෙතන බරපතළ ගැටළුවක් තියෙනවා. මේ විදේශීය නාට්‍ය කණ්ඩායම් සියල්ලම ඒ රටේ නිළ වශයෙන් පිළිගත් නාට්‍ය කණ්ඩායම්. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවද. අඩුම තරමින් අපිට සංවිධිත නාට්‍ය කණ්ඩායම්ක්වත් මේ රට තුල ගොඩනගාගැනීමේ අවකාශයවත් නිර්මාණය වෙලා නැහැ. මේ තත්ත්වයට රජය වගකිවයුතුයි. නාට්‍ය නිර්මාණකරුවන් සඳහා මෙයිට වැඩිය පහසුකම් සැළසීමට රජයන් ඉදිර්පත් විය යුතුයි.

DSC_6895

යටිතල පහසුකම් සැපයීමෙන් මේ ගැටළුවට විසඳුම් ලැබේය කියල ඔබ හිතනවාද?

දැන් සංවර්ධනය ප‍්‍රමුඛ කාර්යය කරගෙන අධිවේගී මාර්ග ඉදි කලානේ. මේකෙන් දැන් අපි ඉස්සර වගේ වටවන්දනාවේ යන්නේ නැතිව පැය දෙකකින් වගේ ගාල්ලට ගිහනුත් එනවා. ඉතිං නාට්‍ය කලාවටත් හොඳ තත්ත්වයේ නාට්‍ය ශාලා කීපයක් කීපතැනක ඉදිකරන්නකෝ බලන්න. නාට්‍ය හැදෙන්නේ නැද්ද, නාට්‍ය පෙන්නන්නේ නැද්ද කියල බලන්න.

සංවාදය සහ සටහන – පාලිත අබේලාල් (palithaabelal@Gmail.com )

.