ජීනීවා එකඟතා ජනපතිගේ ස්ථාවරයට යටත් විය යුතුයි – සුසිල් ප්‍රේම්ජයන්ත්

Susil Premajayantha

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ගෙනා 30/1යෝජනාවලියට අදාළව සහ ඊට තවදුරටත් සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇතත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනටමත් ප්‍රකාශ කර ඇති ස්ථාවරයට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

මෙකී යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක කාලයක් ලැබී ඇතත් ඊට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාව එකඟතාව පළකර ඇතත් “ඔය එකඟතාව පළ කළ අය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයට අනුගතව ක්‍රියාත්මක වීමට වගබලාගත යුතුයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය ශ්‍රීලනිපයේ ස්ථාවරයයි”යනුවෙන් මේ ගැන කළ විමසීමක දී ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ‘සත්හඬ’ ට පැවසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියාවේ නිල සංචාරයට සහභාගි වෙමින් සිටි ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් දුරකථන මඟින් අප කළ විමසීමේ දී ප්‍රකාශ කළේ කවරාකාරයක හෝ දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකට එකඟ නොමැති බවට දැනටමත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරන ස්ථාවරය ශ්‍රීලනිපයේ ද ස්ථාවරය බවයි.

“අපි කතා කරන්නේ, විමසන්නේ සංහිඳියාව ගැන පමණයි. සම අනුග්‍රහය දක්වන්නට ජිනීවාහි දී තවදුරටත් එකඟතාව පළ කළ අය ජනාධිපතිවරයාගේ ස්ථාවරයට අනුව ක්‍රියාත්මක වීමට දැනගත යුතුයි.” ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රීලනිපයේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ රජයේ නියෝජිතයන් මෙම යෝජනාවට තවදුරටත් එකඟතාව පළ කළ ද තවත් වසර දෙකකින් පසු ඇති විය හැකි අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවය.

ප්‍රභාත් වීරරත්න

සත්හඬ’