පාර්ලිමේන්තුවේ සිදු වන බාධා මැඩ පැවැත්වීමට කතා නායක වරයා මීට වඩා මැදිහත්විය යුතුයි

gayantha-karunathilaka

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉකුත්දා පාර්ලිමේන්තුමේන්තුවේ කටයුතු වලට දිගින් දිගටම බාධා කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබින් ඉවත්ව ගියේ විරෝධතාවය පල කිරීමට නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම්විට පාර්ලිමේන්තුවේදී විපක්ෂය සදහා වෙන් කර ඇති අසුන් වල අසුන් ගන්නා බවත් සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී එම සියලු දෙනා එක්තැනකට එක්ව සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කල යුතු නිසා විනයානුකූලව එසේ සභා ගැබින් පිටත්ව ගිය බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කතා කිරීමෙන් තමන්ට අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරැන් අතර මේ අවස්ථාවේ යම් නොසන්සුන්තාවයක් ඇති වූ බවද හෙතෙම පැවසීය.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම කථානායක කරු ජයසූරිය මහත්මයා වෙනත් කථානායකවරයෙකු ලබා නොදෙන තරම් අවස්ථා ගණනාවක් දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දුන් බවද අමාත්‍යවරයා සදහන් කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව කතානායකවරයා විවේචනය කරන මුත් ඒ මහතා කටයතු කළේ ඉතා ඉවසීමෙන් යුතුව වෙනත් ඕනෑම කථානායක වරයෙක් කටයුතු කරන ආකාරයෙන් බවද අමාත්‍යවරයා සදහන් කළේය.

අදාළ සිදුවමේදී කරු ජයසූරිය මහතා ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බවත් දිනේෂ් ගුණවර්ධන මහතාට විනය නීති ක්‍රියාත්මක කිරීම සදහා පැවති ඡන්ද විමසීමේදී සිය පාර්ෂවයේ සියලු ඡන්ද පවා ඔහුට අහිමි වීමෙන් ඒකාබද්ධ විපක්ෂයේ තත්ත්වය පැහැදිලි වූ  බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කතානායක තනතුරට වෙනත් පුද්ගලයෙක් පත්කීරීමේ කිසිදු අදහසක් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ඇති වන මෙවන් බාධා කිරීම් ත්ත්වයන් මැඩ පැවැත්වීම සදහා කතා නායක වරයා මීට වඩා මැදිහත්විය යුතු යැයි එම අවස්ථාවට සහභාගී වූ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කළේය. කතානායකවරයාගේ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් තමා මෙන්ම ඇතැම්  මන්ත්‍රීවරැන් ඇතැම් අවස්ථාවල එකග නොවන මුත් පාර්ලිමේන්තුවේ නීතියට අනුව එය පිළිගත යුතු බවත් ගරු කළ යුතු බවත් අමාත්‍යවරවා වැඩිදුරටත් සදහන් කළේය.