ගීතාට මන්ත්රී ධූරයකට අවසර නැහැ: නීතිපති

Geetha

 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 91 වන ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව නීතිපතිවරයා විසින් අද (14) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ හිමි පුරවැසිභාවය  මේ දක්වා අවලංගුකර ඇති බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නොමැති බැවින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

ඉකුත් මහමැතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මසුරසේන යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ ලබන මැයි 5 වන දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ අනුව  ලබන අප්‍රේල් 05 වන දිනට පෙර දෙපාර්ශවයේ කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන යොමුකරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට හා වගඋත්තරකාර පාර්ශවයට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.