කමිටු නිර්ණායකවලට අනුව සයිටම් අහෝසි විය යුතු බවට තීරණය වෙයි

saitm-malabe-sri-lanka

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කරන ලද කමිටුව සහ සෙසු කමිටු වල නිර්ණායක අනුව මාලඹේ වෛද්‍ය විද්‍යාලයට තවදුරටත් නීත්‍යානුකූල නොවන බැවින් එයට සිසුන් බදවා ගැනීම සහ උපාධි ප්‍රදානය කිරීම වහා නැවැත්විය යුතු බවට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, සියලුම වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

එසේම දැනට පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය නීතිය ඉදිරියේ සහතික කළ යුතු බවට අභියාචනාධිකරණය තීරණය කර ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් හැකි ඉක්මනින් ගැසට් කළ යුතු බවද උක්ත සංගම් අවධාරණය කරයි.

එසේම සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් තාක්ෂණික වාර්තාව අභියාචනාධිකරණය පෙන්වා දෙන පරිදී බලාත්මක කර නොමැති බැවින් එයට අදාළ නීතිමය වලංගුභාවය ලබා දීමට අමාත්‍යවරයා පියවර ගත යුතු බවද එම සංගමය පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් ආයතනයට අදාළ අනුකූලතා සහතිකය මෙතක් ලබා නොමැති බව අධිකරණයට දැන්විය යුතු බවද එම සංගම් පෙන්වා දෙයි.

ඊට අමතරව සයිටම් ආයතනයේ අධ්‍යයන කටයුතු වල නිරත වන සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කිරීම සදහා ඒ පිළිබද අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ යුතු බවටද උක්ත සංගම් තීරණය කර ඇතැයි එකී සංගම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.