රජයකට කඩේගියා කියල වරදාන ලබාදීම හෝ රජය විවේචනය කලා කියල වෙනස්කම් කිරීම විය නොයුතු දෙයක් – ප්‍රවීණ නාට්‍යෙව්දී පරාක්‍රම නිරිඇල්ල

para

සාකච්ඡා කළේ : පාලිත අබේලාල්

දේශීය කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ කර්තව්‍යය අපේ රටේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් මීට කලකට පෙර ඇරඹි කාර්යයකි. එහි ඇති වැදගත්කම සහ එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ කෙසේද යන කාරණා පිළිබද කතාබහ කරනට බොස්ටන් ලංකා අපි හමු වුණේ  ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතාය.

ඒ මෙම දැවැන්ත කාර්්‍යෙය් පුරෝගාමියා ඔහු බැවිනි.

කලා සහ සංස්කෘතික ප්‍රතිපත්තියක් නිර්මාණය වීමේ අවශ්‍යතාවය පැහැදිලි කළොත්?

බොහෝ කලාකරුවන් තමන්ගේ ස්වාධීන ශක්තියෙන් සහ සම්බන්ධතා තුල තමන්ගේ කලා කටයුතු කරගෙන තමන්ගේ පැවැත්ම නිර්මාණය කරගන්නවා. නමුත් පොදුවේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවේ ඒක. කලාව හා සංස්කෘතිය හා සම්බන්ධ සියළු කාර්යයන් සදහා රටකට එක ප්‍රතිපත්තියක් තිබියයුතුයි. රජයකට කඩේගියා කියල වරදාන ලබාදීම හෝ රජය විවේචනය කලා කියල වෙනස්කම් කිරීම විය නොයුතු දෙයක්.

ඔස්ට්‍රේලියාවේ නාට්‍ය කණ්ඩායමක් ඉන්නවා ඇබොර්ජින් වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්මාණ කරන. මේ කණ්ඩායම රජය දැඩි විදියට විවේචනය කරනවා. නමුත් රජය කිසිම විදියකින් ඒ අයට බලපෑම් කරන්නේ නෑ. රජයේ අදහස “මේ වගේ විවේචන නැත්තං අපි කොහොමද ඒවගේ ප්‍රශ්ණ තියෙනවා කියල දැනගන්නේ” කියලයි. ඒ කලාකරුවන්ගේ පැවැත්ම සුරක්ෂිත වෙලා තියෙන්නේ මේ කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය නිසා. විශේෂයෙන් ඕස්ට්‍රේලියානු කලා මණ්ඩලය විස්න් ජනතාවගේ සංස්කෘතිය වගේම සංස්කෘතියට ඇති අයිතියත් ඉහළ මට්ටමින් සුරක්ෂිත කරලා තියෙනවා. ඒ තුල කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ භෞතික සංවර්ධනයක් වගේම මානව සංවර්ධනයක් අතිකිරීමට සමත්වෙලා තියෙනවා.

මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකවිම රටේ සමස්ථ ජනතාවගේ යහපැවැත්මට මොන ආකාරයකින් බලපායිද?

කලාව තියෙන්නේ කලාකරුවන්ගේ පැවැත්ම සදහාම නොවේ. සමස්ථ සමාජයේම යහ පැවැත්ම සදහා. මේ ප්‍රතිපත්තිය මගින් කලාව සහ සංස්කෘතිය හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සවිබල ගැන්වීම සිදුවෙනවා. උදාහරණ විදියට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කලාව සහ සංස්කෘතිය පිළිගැනීමකට ලක්කිරීමට හැකිවෙනවා. මෙයි ඉහළ රසවින්දනයකින් යුත් සංවේදී අනාගත පරපුරක් නිර්මාණය කරගැනීමේ හැකියාව අපිට උදාවෙනවා. මේක ඇත්තටම කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. කලාව රසවිදීම පුරවැසියන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා අතරට නොගැනෙන අද දවසේ කලාවට නියම ස්ථානය ලැබීම තුල පුද්ගල සංවර්ධනය වගේම කලාව සදහා විශාල අවකාශයක් නිර්මාණය වීම සිදුවෙනවා. මේ සංවර්ධනය අවසානයේ ලැබෙන්නේ සමස්ථ ජනතා ජයග්‍රහණයක් විදියටයි.

වත්මන් රජය මේ කෙරෙහි දක්වන්නේ මෙනවගේ අකල්පයක්ද?

සංස්කෘතිය පිළිබද රජයේ ආකල්පය මේ සංස්කෘතික ඇමති පත්කිරීමෙන්ම තේරෙනවනේ. වෙන රටවල සංස්කෘතිය කියන්නේ ඒ රටේ ප්‍රධාන ස්ථානයක් හිමිවෙන ක්ෂේත්‍රයක්. නමුත් අපේ හණමිටි අදහස් තියෙන ඇමතිලා හින්ද මේ අංශය අතීතයේ ඉදන්ම අක්‍රීය අමාත්‍යංශ බවට හංවඩු හැහිල තියෙන්නේ. මේ යහපාළන ආණ්ඩුව යටතේත් ඒක එහෙමමයි. දැනට කොළඹ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මකවෙන මෙගාසිටි ව්‍යාපෘතියට අපි අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි භෞතික සංවර්ධනයට කිසිසේත්ම විරුද්ධ නැහැ. නමුත් මේ භෞතික සම්පත් පරිහණය කරන පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය කිසිසේත්ම නොතැකීම තුල මේ සිදුකරන්නට යන්නේ සැබෑ සංවර්ධනයක්ද කියන ගැටළුව ඇතිකරනවා.මේ තත්ත්වය රජය විසින් පිළිඅරගෙන රජය විසින්ම ස්ථාපනයකර සෑම අංශයකටම ව්‍යාප්ත කළයුතු දෙයක්. නමුත් තවමත් රජය මේ කෙරෙහි දක්වන්නේ අඩු අවධානයක්.

මේ වගේ තත්ත්වයක් තුල මේ කාර්යය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

විශේෂයෙන් කලාකරුවන්, සංස්කෘතික ක්‍රියාකාරිකයින් වගේම පොදුවේ මහජනතාව මේ වගේ සංස්කෘතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකවීම හමුවේ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබද දැනවත් කරලීම අත්‍යවශ්‍ය දෙයක්. මේ සදහා අපි රටේ බුද්ධිමතුන්ට වගේම මහජනතාවටත් ආරාධනා කරනව මේ පිළිබදව මීට වඩා අවධානයක් යොමුකරවන්න කියල. ඒවගේම ඔබට හැකි ආකාරයෙන් මේ පිළිබදව නිවැරදි දැනුම අරගෙන, අනෙක් අයටත් සංනිවේදනය කරන්න කියන ආරාධනයත් මේ මොහොතේ මම කරනවා. අපි සාමූහිකයක් විදියට සියළුම ප්‍රජාවන් දැනුවත් කරලීමේ කාර්යයේ යෙදීසිටනවා.

සාකච්ඡා කළේ : පාලිත අබේලාල් (palithaabelal@gmail.com)