ගිම්හානයේ ගීයෙන් ඔබව මුසපත් කළ උපයංග

Upanga

උපයංග ශ්‍රී වික්‍රම කියන්නේ නවක සංගීත අධ්‍යක්ෂකවරයෙක්.ඒ වගේම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. වෙනස් විෂයන් ද්විත්වයක දස්කම් විදහන උපයංග බොස්ටන් ලංකා සමගින් පිළිසඳරකට එකතු වුණේ මේ විදියට.

උපයංග ඔබ ක්ෂේත්‍ර කිහිපයකම දක්ෂයෙක් ?

ඒත් මම හරිම සරල මනුස්සයෙක්. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් , කලාවට ගොඩාක් ආදරේ කරන ගී පද රචනය, තනු හා සංගීත නිර්මාණය කරන පුංචි කලා කාරයෙක් , හෙට අනිද්දට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්.

ඔබ කොහොමද සංගීතයට යොමුවෙන්නේ ?

ඇත්තටම මං පාසලේදිවත් සංගීතය හදාරලා නෑ, නමුත් සංගීතයට ගොඩාක් ලැදියි. ඉතිං ස්වයං අධ්‍යයනයෙන්ම සංගීතය ඉගෙනගෙන දැඩි කැමැත්ත නිසාම සංගීතයට යොමුවුණා.

එහෙම ආපු ගමනේ මිනිස්සු ඔබව හඳුනාගන්නේ කොහොමද ?

මගේ ප්‍රථම නිර්මාණයෙන්ම මිනිසුන් අතරට යන්න මං ගොඩාක් වාසනාවන්ත වුණා,මං සුරේන්ද්‍ර පෙරේරාට නිර්මාණය   කරපු ගිම්හානයේ ගීය තමයි මගේ මුල්ම නිර්මාණය, ඒක අතිශයෙන්ම ජනප්‍රිය වුණා, තවමත් ඒ ගීයට නොඅඩුව ප්‍රතිචාර ලැබෙනවා.

අද වෙනකොට ලංකාවේ සංගීතය කියන්නේ බිස්නස් එකක් ? ඔබත් සංගීත මුදලාලි කෙනෙක්ද ?

කොහෙත්ම නෑ සංගීතය මගේ වෘත්තිය නෙවේ , සංගීතය මගෙ ජීවිතේම කොටසක්.

එහෙම මුදලාලි කෙනෙක් නොවන්න ඔබ කටයුතු කරන්නේ කොහොමද?

මං මගේ නිර්මාණ වල තත්වයක් තියාගන්නවා හැම වෙලේම, කවදාවත් ඒකාකාරි වෙන්නේ නෑ, ඒක මගේ ගීත අහපු අය දන්නවා, අනිත් එක මට රැකියාවක් තියෙනවා ඒක නිසා මට සංගීතය විකුණලා ජීවත්වෙන්න අවශ්‍යය නෑ.

සංගීත ක්ෂේත්‍රය අද එක කොට්ඨාසයකගේ රජ දහනක් වෙලා කියලා මම කීවොත් ඔබ එකඟද ?

එහෙම කියන එකේ වරදක් නෑ. නමුත් රජ දහනක් නෙවේ ආක්‍රමණයක්. බලහත්කාරයෙන් අර කලින් කිව්ව මුදලාලිලාගේ මුදල් බලයට ඒ උදව්වෙන් ක්ෂේත්‍රය අල්ලා ගැනීමක්.

කොයිතරම් අය ක්ෂේත්‍රයට ආවත් හැමෝටම එකවගේ පවතින්න බෑ.මොකක්ද ඒකට හේතුව?

හේතුව මිනිස්සුන්ට මතක හිටින නිර්මාණ කරන්න බැරිවීම, දැන්කාලේ ගොඩාක් ජනප්‍රිය ගී කියන්නේ මිනිස්සුන්ට බලෙන් අස්සලා බලෙන් වැලඳගන්න සලස්සවපුවාට,ඒ වගේ නිර්මාණ හිතට වැදුනට ,හිතට ආමන්ත්‍රණය කරන්නේ නෑ, ඉතිං හිතේ රැඳෙන්නේ නෑ , නිර්මාණකාරයන්ටත් ඒ ඉරණමම තමා, ගීත තොග ගණන් කරපු අයට වඩා එක්  හොඳ ගීයක් විතරක් කරලා මිනිසුන්ගේ හිත්වල සදාකාලිකවම පැලපදියන් වෙච්ච නිර්මාණශිල්පීන් ඉන්නවා

ඔබේ ඉදිරි  නිර්මාණ  ගැන සඳහන් කලොත්?

ප්‍රවීන හා නවක ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ටම ගීත කිහිපයක් කරලා තියෙනවා,ඒවා එකින් එක රසික රසිකාවියන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ අතර මං ගායනා කල ගීත කීපයක් ඇතුලත්වේවි. එලෙසම තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයක්, චතුරංග ජයමාල්ගේ නිෂ්පාදනයක් වන පිටස්තරයා ටෙලි නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය මගේ අතින් සිදුවුණා , එය හෙට අනිද්දම බලන්න පුළුවන් . එලෙසම තවත්  චිත්‍රපටයක් මගේම අධ්‍යක්ෂණයක් ලෙසින් මේ වසරේදි තිළිණ කරනවා, එය නිෂ්පාදනය කරනු ලබන්නේ සුගත් මිල්රෝයි පෙරේරා. ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයි හැමෝටම. වෙනස්ම ප්‍රමිතියකින් යුතු නිර්මාණයක් ඒක.

විශේෂයෙන් මතක් කලයුතු අය ඉන්නවද?

ඔව් මුලින්ම මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාම, මගේ මුල් නිර්මාණයට පණ දුන් සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු මගේ නිර්මාණ සඳහා දායකවූ සියළු ප්‍රවීන නවක කලාශිල්පීන්ට, මගේ ලඟ හිඳිමින් මට විශාල හයියක් වුණු රාඝා මිඩියා පවුලේ සියලු දෙනාටම. සියලුම රූපවාහිනී ,ගුවන්විදුලි ,මුද්‍රිත හා වෙබ් මාධ්‍යය සඟයන්ට ,මාකෙරේ විශ්වාසය තැබූ සියලුම  නිෂ්පාදකවරුන්ට, පදරචකයන්ට.නිර්මාණ රසවිඳි, දිරිමත් කල සියලුම රසික රසිකාවියන්ට

සංඛ රඹුක්වැල්ල

(m_sankarambukwella@yahoo.com)