පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්

women repsA

මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක්ම පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු කියා සිටියේ ගෙවී ගිය දශක 50 තුළ ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කේෂ්ත්‍රයේ ලැබූ එකම තීරණාත්මක ජයග්‍රහණය පලාත් පාලනයේ 25% ක කාන්තා නියෝජනය බවයි.

“යුරෝපයේ බොහෝ රටවල් කාන්තාවන්ට ඡන්ද අයිතිය ගැන කථා කරන්නටත් පෙර, 1931 දී ලංකාවේ කාන්තාවට සර්වජන ඡන්ද බලය හිමිවුණා.  ඉන් වසර තිහකට පසුව ලෝකයේ පළමු අගමැතිනිය බිහි කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණා. නමුත් අද ලංකාවේ මහජන නියෝජිතයින් අතුරින් 5% ක් වත් කාන්තාවන් නොවේ. 2016 වසරේ ජගත් කාන්තා දිනයට සැමරුවේ 25% කාන්තා නියෝජනය ඉදිරියට දමමින්. අද 25% ත් නෑ. ඡන්දත් නෑ.  ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයත් නෑ” යැයි ද ඔහු සඳහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ දී කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනා කෙටුම්පත් අවස්ථාවේ තිබිය දී පුළුල්  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නම් පුරුෂ මුලික ප්‍රතිපත්ති තීරකයින් විසින් කාන්තා මහජන නියෝජනය ඉහළ නැංවීමේ බලාපොරොත්තුව අඩපණ කළ බවද කියා සිටියි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර 5 වන ස්ථානයේ හිමිව ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට වන අතර 2006 සිට 2016 වසර 10 පුරා ලෝකයේ ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය නරක ලෙසම බිදවැටුණු රාජ්‍යය ශ්‍රී ලංකාව ලෙස නම් ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.