දඹුල්ල රෝහලේ සිදු වූ බලහත්කාර පවුල් සැලසුම් අද සිට අත්හිටවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් නියෝගයක්

dambulla hospital

දඹුල්ල රෝහලේ ක්‍රියාත්මකවූ දරු ප්‍රසූතියෙන් පසු පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලූපය පැළඳවීම අද  දින සිට තාවකාලිකව අත්හිටුවන බවත්, අනෙකුත් අත්‍යවශ්‍ය  පවුල් සැලසුම් ක්‍රම රෝගියාගේ කැමැත්ත ලිඛිතව ලබාගෙන වෛද්‍ය අධිකාරිවරයා වෙත යොමු කොට අනුමැතිය ලබාගෙන පමණක් සිදු කිරීමට තීරණය කළ බවත් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය චාල්ස් නුගවෙල මහතා පවසා තිබේ.

අද (08) උදෑසන දඹුල්ල ප්‍රදේශයයේ විහාරස්ථාවල වැඩසිටින භික්ෂුන් වහන්සේලා, අලුත්ගම උපනන්ද හිමියන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිත කණ්ඩායමක්  දඹුල්ල රෝහලට පැමිණ වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූහ.

එහිදී සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්  දොස්තර ජයසුන්දර බණ්ඩාර මහතාගේ වාචික නියෝග මත ඉහත තීරණයට එළඹි බව වෛද්‍ය අධිකාරිවරයා ලිඛිතව පැමිණි පිරිසටද දැනුම් දුන්නේය .

තවද දැනට සිදුකරන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමටත්, පසුගිය කාලයේ දඹුල්ල රෝහලේ දරු උපත් සිදුකොට පවුල් සැලසුම් ක්‍රියාවට ලක්වූ මව් වරුන්ගේ නිවෙස් වලට ගොස් ඒවා බලහත්කාරයෙන් කළේද යන්න ලිඛිතව විස්තර ලබාගැනීමට තීරණය කර එම කටයුතු සිදුවෙමින් පවතින බව සඳහන්ය.

දින කීපයක සිට දඹුල්ල මුලික රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව් වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවි කරන බවටත්, උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවටත් චෝදනා කරමින් ඉකුත් 5 වෙනිදින මව්වරුන් හා පියවරුන් විසින්  බලධාරීන්ට පැමිණිලි කළහ.

දින ගණනාවක් තිස්සේ ටිකට් කපා ඇති තම බිරින්දෑවරුන් හා දරුවන් නිවෙස් වලට රැගෙන යාමට නොහැකි නිසා වාට්ටුවට ගොස් පියවරුන් දොස්තර වරුන්ට දොස් නඟන්නටද  විය.

ඇතැම් මව් වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව ට පැමිණිලි කර  ඇති අතර උපකරණය පැළදීමට අකමැතිව විරෝධය පළකළ  පියවරුන්ට බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිඳ වාට්ටුවෙන් එළියට කැටුව ඒමට නැවත රෝහල තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශ යොදා බාධා කරන  බවද වාර්තා වී තිබිණි.