‘බැඳුම්කර කොමිසම’ : මහ බැංකු අධිපති සාක්ෂි දෙයි

CB scandel

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව අද සිය සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කළේය.

කොළඹ 12 අධිකරණ මාවතේ පිහිටි භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභා කාර්යාලයේදී කොමිසම රැස්විය.

2015 පෙබරවාරි මස පළමුවෙනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව මාස 3ක් ඇතුළත පරීක්ෂණ අවසන් කොට වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා මෙම කොමිසමට නියෝග කර ඇත.

අද කොමිසමේ කටයුතු ආරම්භ කරමින් සාක්ෂි දීමට කැඳවා තිබුණේ වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය.

සාක්‌ෂි විභාගය ආරම්භවීමට පෙර කොමිසමේ කටයුතු පිළිබඳව මූලික අදහසක් ඉදිරිපත්කරමින් එහි සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රි චිත්‍රසිරි, කොමිසමේ කටයුතු සිදුවන ආකාරය පැහැදිලි කළ අතර කොමිසමේ කටයුතු නියමිත කාලපරිච්ඡේදයට අවසන් කිරීම සඳහා ඉදිරියේදී දිනපතා සාක්ෂි විමසන බව පැවසීය.

කොමිසමේ කටයුතුවලට සහය දැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් නිලධාරීන් 4 දෙනකු ලබාදී තිබෙන බව පැවසූ ඔහු සඳහන් කළ පරිදි, සුමතිපාල උඩුගමසුරිය කොමිසමේ ලේකම්වරයා ලෙස ක්‍රියා කරයි.

පෙබරවාරි 9 හා 10 වෙනිදා කොමිසමට කරුණු ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා පුවත්පත් දැන්වීම් පළකළ බව පැවසූ විනිසුරුවරයා ලබන 28 වෙනිදා දක්වා කරුණු ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළේය. එසේ ලබාදෙන කරුණු ගැන වැඩිදුර තොරතුරු අවශ්‍යනම් ඔවුන් සාක්ෂි ලබාදීමට කැඳවන බව ද ඔහු කියා සිටියේය.

රහසිගත සාක්ෂි

කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු මහජනතාවට විවෘත බව පැවසූ විනිසුරුවරයා, අත්‍යවශ්‍ය නම් රහසිගතව සාක්ෂි දීමේ ක්‍රමවේදයක් ද ඇති බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කර ඇති වාර්තා, කෝප් කමිටුවේ වාර්තාව හා අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ද මෙම විමර්ශනය සඳහා යොදාගන්නා බව ඔහු කියා සිටියේය..

ඉන් අනතුරුව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද සිල්වා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් 9 දෙනකුගේ කණ්ඩායමක් කොමිෂන් සභාවේ කටයුතු සඳහා සහභාගිවන බවය. සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවුවහොත් ඔවුන්ව ආරක්ෂා කිරීමේ පනත යටතේ ක්‍රියාකළ හැකි බව ද ඔහු පෙන්වා දුණි.

තාක්ෂණික කරුණු

සාක්ෂි විමසීම ආරම්භකිරීමට පෙර සභාවේ සිටි නීතිඥයින් දෙදෙනෙකු ඇමතු කොමිසමේ සාමාජිකයින්, ඔවුන් පෙනී සිටින්නේ කුමන පාර්ශ්ව වෙනුවෙන්දැයි විමසීමේදී එම නීතිඥයින්පැවසුවේ තමන් සාක්ෂි විභාගය නිරීක්ෂණය සඳහා පැමිණි බවය. එසේ නිරීක්ෂණය කරන්නේ කුමන පාර්ශ්වය වෙනුවෙන්දැයි විමසු විට, පර්පචුවල් සමාගම වෙනුවෙන් තමන් සාක්ෂි විමසීම නිරීක්ෂණය කළ ද නිල වශයෙන් තමන්ට එම කාර්ය පැවරී නැති බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ට අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද සිල්වා විසින් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් සාක්ෂි විමසිම ආරම්භ කරනු ලැබූ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ පිළිවෙතේ තාක්ෂණික කරුණු සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් ඔහු වෙත යොමු විය.

බීබීසී