මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා

IMG_3816A

සාකච්ඡා කළේ නිරාශා පියවදනි

උදය රොහාන් ඩී සිල්වා නාමය ඔබට තරමක් නුහුරු නුපුරුදු වුණත් යූ. ආර්.ඩී සිල්වා නාමයනම් අපේ නීතිඥ ප්‍රජාවට කොහෙත්ම නුහුරු නැහැ. මෙරට ආන්දෝලනාත්මක නඩු රැසකට සම්බන්ධව කටයුතු කළ ඔහු මේවන විට නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස ද කටයුතු කරන කීර්තිමත් නීතිඥවරයෙක්.  වෘත්තිය ජීවිතේ සුවිශේෂි කඩඉමකට සූදානම් වෙන මේ මොහොත් බොස්ටන් ලංකා සමග සම්බන්ධ වෙමින් ඔහු සිය අදහස් පළ කර සිටියේ මෙලෙසින්.

මොකක්ද මේ පනින්න හදන පිම්ම?

2017 ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙවත් Bar Association හි වාර්ෂික නිලවරණය පෙබරවාරි 21 වනදා පැවැත්වෙනවා. මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා.

ඇත්තටම මොකක්ද මේ නීතිඥ සංගමය කියන්නෙ?

සාමාන්‍යෙයන්  නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දෙන ඕනෑම අයෙකුට මෙම සංගමයට සම්බන්ධ විය හැකියි. නමුත් නිලවරණයකදී වාර්ෂිකව තම සාමාජිකත්වය යාවත්කාලීන කළ අයට පමණයි තම ඡන්දය ලබා දිය හැක්කේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය වාර්ෂිකව යාවත්කාලීන කළ යුතුයි. බොහෝ පිරිස් මුල් කාලයේදීම මේ සංගමයට සම්බන්ධ වුණාට පසුව එය අලුත් නොකරන නිසා එය නාමික සාමාජිකත්වයක් පමණක් බවට පත්වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට වළංගු ඡන්ද සංඛ්‍යාව 13000 ක් වන අතර ඒ අතරින් 8000ක් කොළඹ දිස්ත්‍රික්කයට අයත්. ඉතිරි 5000 පිරිස නියෝජනය කරන්නේ ලංකාවෙ වෙනත් දිස්ත්‍රික්ක වලින්.

සාමාන්‍ය ජනතාවත් එක්ක නීතිඥ සංමය සතු සබදතාව මොන වගේද?

ඇත්තටම නීතිඥ සංගමය හුදු වෘත්තීය සංගමයක් නෙවෙයි.ඊට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් ක්‍රියාත්මක වන්නක්. මේ වන විට මහජනයා  වෙනුවෙන් ක්‍රියාත්මක වීම මන්දගාමී වී තිබුණත් යම් යම් පොදු කාරණා සම්බන්ධයෙන් මහජනයාගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක වීමට නීතිඥ සංගමය කටයුතු කරනවා.

මෑතකදී අපේ පාසල් ශිෂ්‍යාවක් මහපාරෙ වැහි වතුරෙන් පිරී ඉතිරී ගොස් තිබූ කාණු වලකට වැටිලා බෝක්කුව දිගේ ගහගෙන ගියා. අැගේ ජීවිතහානි සිදු වූ අවස්ථාවේ එම නගර සභාවට එරෙහිව කටයුතු කරමින් ඇගේ පවුලේ අයට යම් සාධාරණත්වයක් ඉටු කිරීමට අපි පියවර ගත්තා.

ජනතාව පීඩා විදින එවැනි පොදු ප්‍රශ්නවලදි මීට වඩා සක්‍රීයව දායක වෙන්න ඉදිරියේදි කටයුතු කරනවා.

ඒ වගේම මම ලේකම් ධූරයේ කටයුතු කරන කාලයේ මහජනයා වෙනුවෙන් නීති ආධාර කමිටුවක් පිහිටෙව්වා. පසු කාලීනව එහි ක්‍රියාකාරී බව අඩු වී ගියා.

නමුත්දැන් නිතිඥ ප්‍රජාවට පහසුවෙන් එය කළ හැකි අවස්ථාවක් තමයි නීති ආධාර කොමිෂන් සභාව.එය ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාකාරී ආයතනයක්. දිවයිනේ පිහිටි සෑම අධිකරණයකම එහි ශාඛා තිබෙනවා. ඔනෑම කෙනෙකුට එම ශාඛා හරහා සේවය ලබා ගන්න පුළුවන්.

ඔබ මුලින්ම නීතිඥ සංගමයට සම්බන්ධ වූ යටගියාව සිහිපත් කලොත්?

මම මුලින්ම නීතීඥ සංගමයට සම්බන්ධ වුණේ 2000 වසරෙදි.  එවකට සභාපති ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා මට සමාජ සහ සුභසාධක කමිටුවේ සභාපති ධූරය මට බාර දුන්නා. ඒ තුළින් මට යම් යම්  යහපත් වෙනස්කම් කිහිපයක් කරන්න හැකි වුණා.

මගේ සංකල්පයකට අනුව අපි කණිෂ්ට නීතිඥවරුන්ගේ සේවා ස්ථානවලටම ගිහින් නීතිඥ සංගමේ වැඩ භාර දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ අනුව ඔවුන් වියදම් දරාගෙන කොළඹ එන්න ඕන නෑ. Members Welfare Society  නමින් හැදින් වූ එම අංශය මගින් මා හැකිතාක් මගේ සේවය ලබා දුන්නා.

ගමන එතනින් නැවතුණේ නැහැ?

2002 වසරෙදි නීතිඥ සංගමේ භණ්ඩාගාරික ලෙස තේරී පත් වීමට මට හැකිවුනා. එලෙස ලැබූ පන්නරය සමගින් ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්2008 වසරේදි නීතිඥ සංගමයේ ලේකම් ධූරයට තේරී පත් විමේ භාග්‍ය ලැබුණා. එවක සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළේ ජනාධිපති නීතිඥ ඩබ්.දයාරත්න මහත්මා. එතුමාගේද සහය සමගින් 2008 වසරෙ සිට 2010 දක්වා විශාල වැඩ කොටසක් කිරීමට මට හැකි වුණා.

2008 -2010 කාල පරාසය සංගමයේ පරිවර්තන යුගයක් ලෙස දුන්වන්න පුළුවන්. කණිෂ්ට නීතිඥවරුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව සොයගෙන ගොස් ඔවුන්ගේ දුක් ගැනවිලි වලට සවන් දී ඔවුන්ට නොමිලේ නීති ආධාර ලබා දීමේ හැකියාව ලැබුණා.පසුව අපේ නීති ප්‍රජාව බොහොමයක් පිරිස් 2010 වසරේදි මගෙන් ඉල්ලුවා සභාපති ධූරය වෙනුවෙන් තරග කළ යුතුයි කියා. නමුත් මා එකල තරග වැදුණෙ නැහැ.

ඒ ඇයි?

මා සිතුවා මා ඉක්මන් විය යුතු නැහැ කියා. සභාපතිධූරයට හිමිකම් කීමට නම් යම් පරිණතභාවයක් අවශ්‍යයි. සමාජයේ විවිධ ආයතන සමග සන්නිවේදන සම්බන්ධතා තිබිය යුතුයි.මෙය දේශපාලනයෙන් තොර වු අංශයක් වුවත් අපි ඒ ඒ වකවානු තුළ ක්ෂේත්‍රෙය් සිටින දේශලාලනඥයන් කව්ද ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද කියා මනා අවබෝධයකින් සිටිය යුතුයි. මා සිතුවා මම ඒ පරිණතභාවය ලබා ගැනීමට තව කල් ගත යුතුයි කියා.

1983 වසරෙන් ඇරඹි වෘත්තීය ගමන් මග තුළ පසු කළ සුවිශේෂ කඩඉම් සදහන් කළොත්?

මා කණිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස සේවය කරන කාලෙ මුදල් ගෙවීමට නොහැකි අය වෙනුවෙන්  රජයෙන් පත් කරන  නීතිඥවරයෙකු ලෙස මහාධිකරණයේ කටයුතු කිරීමේ අවස්ථාව උදා වුණා. එහිදී මම ප්‍රථමයෙන් මිනිමැරුම් නඩුවක් වන සිංහාරමුල්ලේ නඩුවට පෙනී සිටියා.

එහි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ගැනීමට හැකි වීමත් සමග එය මගේ වෘත්තීය ජීවිතේ පරිවර්තනයක් ඇති කළා.මේ වන විට මම ත්‍රිපුද්ගල විනිශිචය සභා නඩුවල වැඩිම වාර ගණනක් පෙනී සිටි නීතිඥවරයා ලෙස නමක් දැනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

හර්ෂ අබේවර්ධන ඝාතන නඩුව, තෝමස් කුක් මංකොල්ලකෑම් නඩුව, ත්‍රීමා විතාන ඝාතන නඩුව වැනි රටේ ආන්දෝලනාත්මක  නඩුකර වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ කහවත්තේ ඝාතන නඩු ජාලයේ එක් නඩුවක් සදහා පෙනී සිටි අවස්ථාවත් සුවිශේෂයි.

එහිදී වෙනත් අයෙකු කළ අපරාධ මොවුන් සිදු කළ බවට නීතිපතිතුමා විසින් ඔවුන්ට අධී  චෝදනා පත්‍ර භාර දී එම විත්තිකරුවන්ට අසාධාරණයක් වී තිබුනා. එහිදී ඝාතනය වූ පිරිසගේ රුධිරයේ   වෙනත් අයෙකුට ගැලපෙන ඩීඑන්ඒ සාම්පල තිබුණා.ඒ සම්බන්ධ ඩීඑන්ඒ වාර්තාවක් මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් වී තිබුණත් නීතිපතිතුමාට ඉදිරිපත් වී තිබුණෙ නැහැ. අපිට හැකි වුණා එම ඩීඑන්ඒ වාර්තව සහ වෙනත් සාක්ෂි හරහා මෙම ඝාතනය වෙනත් පුද්ගලයෙකු විසින් කරන ලද්දක් බව සනාථ කර දී නඩුව ජය ගැනීමට.

IMG_3821A

නිලවරණයෙන් ජය ලැබුවොත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අනාගත සැලසුම් මොනවද?

අපේ නීතිඥ ප්‍රජාව ඉල්ලන්නෙ බොහොම සුළු දෙයක්. එදිනෙදා නීති වෘත්තියේ නියෙලෙන්න තිබෙන බාධාවන් ඉවත් කර යහපත් පරිසරයක් ගොඩනගා දීම තමයි ඔවුන්ගේ ඉල්ලා සිටින ප්‍රධානම කාරණය.

යහපත් පරිසරයක් යනුවෙන් අදහස් කරන්නෙ නීතිඥවරයෙකුට වෘත්තියේ නියලෙන කාලසීමාව තුළ රැදී සිටීමට ස්ථානයක් සේවාදායකයන් මුණ ගැසීමට තැනක්  පොලිසියකට ගොස් සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් වැනි දේ මග හැරී ගොස් තිබෙනවා.

දැනට තිබෙන තත්ත්වය අනුව ගැසට් පත්‍රයක් මගින් පමණයි නීතිඥවරයෙකුට පොලිසියට ගොස් සේවා දායකයින් සදහා පෙනී සිටීමේ අවස්ථාව ලැබෙන්නෙ. දැනට සේවාදායකයෙකුට නීතිඥයෙකු හමුවිය හැක්කේ පොලිසියට සියලු කටඋත්තර ලබා දීමෙන් පසු පමණයි.

නීතිඥවරුන් පොලිසියෙ අය හදුනනවනම් එතනට යන්න බාධාවක් නැහැ. නමුත් එසේ නොවන අවස්ථාවල  ඔවුන් කියන්නෙ නීතිඥවරයෙක් පොලිසියට ඒම සම්බන්ධ නීතියේ ප්‍රතිපාදන නැහැ කියා.

නමුත් මම ඒකට විරුද්ධ මතයක් මම ගොඩනැගුවා. මගේ අදහස වුනේ යම් කෙනෙක් අත්අඩංගුවට ගත් වහාම නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියා.

තවත් ප්‍රධානතම කාරණයක් තමයි නඩු ප්‍රමාද වීම. එහිදී මගේ අදහස් වලින් ප්‍රධානම එකක් ලෙස සදහන් කරන්න පුළුවන් Pre trial stage .

දිනපතා නඩු අහලා ඉවර කරන්න කියන සංකල්පය ප්‍රාෙයා්ගික නැහැ. නමුත් එය කිරිමට පෙර මේ නඩුවට සූදානම් වෙලා තිබෙනවද, ඒවට අවශ්‍ය සහකරුවන් ඉන්නවද, භාණ්ඩ තිබෙනවද නැද්ද වැනි කරුණු රැසක් ගැන සොයාබැලීමෙන් අනතුරුව සාකච්ඡා වාරයකින් හෝ කෙටි ක්‍රමයකින් අවසන් වෙන්නෙ නැත්නම් විතරක් දීර්ඝ නඩු විභාගයකට යන්න පුළුවන්.

විශාල වශයෙන් පිරිස නීති වෘත්තියට පිවිසීම අනාගතයේදී සයිටම් ගැටළුවේ දිගුවක් නොවේවිද?

ඉස්සර නීතිඥවරයෙක් බිහි කළේ නීති විද්‍යාලය සහ සරසවි නීති පීඨය පමණයි. එකල මෙය Nobel Profession යනුවෙන් හැදින්වුයෙ එනිසයි. නමුත් මේ වන විට නීති උපාධිය ලබා දෙන පුද්ගලික ආයතන රැසක් බිහි වෙලා තිබෙනවා.

ඇත්ත වශයෙන්ම  එය ගැටළුවක්. මෑතකදී 800ක් පමණ නීතිඥ සංගමයට බැදුණා.තවත් 1000ක් එන්න ඉන්නවා. මේ වගේ තත්ත්වයකදී ඔවුන්ගේ අනාගතය කොයි වගේ වේවිද?ඔවුන් නිරපරාදේ මහේස්ත්‍රාත් අධිකරණයකට හෝ දිසා අදිකරණයකට ගිහින් හිටගෙන සිටීමෙන් ඔවුන්ට සෙතක් වෙයිද වගේ ගැටළු ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවා.

එවැනි ගැටළුවලට පිළියමක් නොලැබුණොත්  ඔවුන් අනිතික ක්‍රියා වලට පෙලඹීම වළක්වන්න බැහැ.