ජීවිත අවදානම නොසළකන යාත්රා අයිතිකරුවන් සහ පදවන්නන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග

fishing-boats_CI

මිනිසුන්ගේ ජීවිත අවදානම සැළකිල්ලට නොගනිමින් කටයුතු කරන යාත්රා අයිතිකරුවන් සහ පදවන්නන් පිළිබඳව දැඩි ක්රියාමාර්ග ගත යුතු යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පෙරේදා (19) කටුකුරුන්ද ආසන්න මුහුදේ දී කිහිප දෙනෙකුට මරණය කැඳවමින් සිදු වූ දරුණු අනතුරට හේතුව, එම බෝට්ටුවට දරාගත නොහැකි අන්දමට මිනිසුන් පැටවීම නිසා පැහැදිලි යැයිද එවැනි අවස්ථාවක සමබරතාවය ගිලිහී යාම නිසා බොහෝ විට මෙවැනි අනතුරු සිදු වනවා යැයිද අමාත්යවරයාගේ නිවේදනයේ සදහන් වේ.

මුහුදේ සිදු කෙරෙන මගීන් ප්රවාහනයේ දී, අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳව ධීවර යාත්රා අයිතිකරුවන්ට මෙන්ම, ඒවා පදවන්නන්ට ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය මාර්ගොපදේශන ලබා දී ඇති නමුත්, බොහෝ විට එම මාර්ගෝපදේශන ක්රියාත්මක නොකර හුදෙක් මුදල් අපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා මෙවැනි අනතුරු සිදුවන බව පැහැදිලි බවත් අමාත්යවරයා පෙන්වා දෙයි.

බෝට්ටුවක උපරිම ධාරිතාව, මුහුදේ ස්වභාවය, බෝට්ටුවේ ගමන්කරන සෑම කෙනෙකුටම ආරක්ෂිත කබා පැළඳවීම මෙන්ම, ගමනාන්තය තෙක් සමතුලිතතාවය රැක ගනිමින් කටයුතු කිරීම වැනි මුහුදේ මගීන් ප්රවාහනයේ දී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් වන බවද හෙතෙම පවසයි.

නමුත් මෙම අනතුරට ලක් වූ බෝට්ටුවේ ගමන් කළ පිරිස බෝට්ටුවේ ධාරිතාවට නොසරිලන අතර, ඔවුන්ට ජීවිතාරක්ෂක කබා ද ලබා දී නැති බව, පැහැදිලි යැයිද නිවේදනයේ සදහන් වේ.

කෙසේ වුව ද මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරි කාළය තුළ යාත්රා අයිතිකරුවන් සහ පදවන්නන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමටත්, එමෙන්ම මෙම කාරණය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශයට අදාළ නොවූවත්, මගී ප්රවාහන බෝට්ටු සේවා සපයන ආයතන හා පුද්ගලයින් නියාමනය සඳහා නවතම විදිමත් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දීමටත්, ඒ සඳහා නාවික හමුදාව, ජාතික වෙරළාරක්ෂක බලකාය ඇතුළු අංශවල සහයෝගය ලබා ගන්නා බවත්, අමාත්යවරයා අවධාරණය කරයි.

දැනට තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමට යන පුද්ගලයින් සඳහා ජීවිතාරක්ෂක කබා ලබා දීම අනිවාර්ය කර ඇති අතර, එම යාත්රාවලට ගෙන යා හැකි උපරිම පුද්ගලයින් ගණන පිළිබඳව ද, මුහුදේ ස්වභාවය අවධානයට යොමු කිරීම සම්බන්ධයෙන් ද, අවශ්ය මාර්ගෝපදේශන ලබා දී තිබෙන බවද අමාත්යංශ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, මගී ප්රවාහන බෝට්ටුවක යම් කෙනෙක් ගමන් කරන්නේ නම්, ඔහු ද තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කළ යුතු අතර, ජීවිතාරක්ෂක කබා ලබා නොදෙන්නේ නම් එවැනි
චාරිකාවල නිරත නොවීමට ද, වග බලා ගත යුතුයැයි අමාත්යංශ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.