ආනන්ද නාලන්ද බිග් මැච් – ‘ලේ ගලන ‘ලෝහිත සංග්රාමයක්’

big macth

පාසල්හී පැවැත්වෙන බිග් මැච් (ක්රිකට් තරග) සදාචාරාත්මක ලෙස පැවැතිවිය නොහැකි නම් තහනම් කළ යුතු යැයි පූජ්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. එසේම ඒවා පාලනය කිරීමට පාසල් වල විදුහල්පතිවරුන් මැදිහත් නොවන්නේ නම් රටේ ආරක්ෂක අංශ ඒ සදහා මැදහත් විය යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

බිග් මැච් යනු මෙරට බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ආගම නැති කිරීම සදහා මත්ද්රව්ය ගුරුකොට ගනිමින් පාසල් වල ක්රියාත්මක වන කුමන්ත්රණයක් යැයිද අහිංසක කොළඹ ආනන්ද, නාලන්ද ඇතුළු සෙසු පාසල්හී සිසුන් එයට ගොදුරුව ඇතැයිද සෝභිත හිමියෝ පැවසූහ.

මෙම කුමන්ත්රණයෙන් මිදීමට නම් නීතිය අකුරට ක්රියාත්මක කල යුතු යැයිද නොඑසේ නම් පාසල් වල විදුහල්පතිවරැන් මේ සම්බන්ධයෙන් විනය පියවරක් ගත යුතු යැයිද උන්වහන්සේ අවධාරණය කළහ.

කොළඹ පාසල් කිහිපයක් අතර ඉකුත්දා ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට බෞද්ධ සංසදය ඊයේ (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේදී පැවති මාධ්ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

බෞද්ධාගමේ මූලික ඉගැන්වීම විනය හා හික්මීම බවත් රටේ බෞද්ධ පාසල් ප්රසිද්ධියේ මෙලෙස විනය විරෝධි ක්රියා කිරීම ප්රසිද්ධියේ හෙලා දකින බවත් උන්වහන්සේ පැවසූහ.

බිග් මැච් යනු ප්රසිද්ධියේ නීති කඩ කිරීම සදහා පාසල් සිසුන්ට ලබාදෙන අවසර පත්රයක් බවද උන්වහන්සේ මෙහිදී සදහන් කළහ. එසේම ආනන්ද නාලන්ද බිග් මැච් ‘සුලෝහිත සංග්රාමය’ යනුවෙන් නම් කර ඇතත් අද එය ලේ ගලන ‘ලෝහිත සංග්රාමයක්’ වී ඇතැයි සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.

බිග් මැචි සංවිධානය කරනු ලබන ඕල්ඩ් බෝයිස්ලා යනු ‘ඕල්ඩ් බීස්ට්’ ලා යැයි සදහන් කල සෝභිත හිමියෝ බිග් මැච් යනු බෞද්ධ කමටද නිගාවක් යැයි පැවසූහ.

මත්ද්රව්ය සදහා ඇබ්බැහිව සිටින පාසල් සිසුන්ගෙන් සියයට අනූපහක්ම මෙලෙස විද්යාලවල පවතින විවිධ උත්සව වලදී ඒවාට ඇබ්බැහිව ඇතැයි මෙම අවස්ථාවට සහභාගී වූ ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියෝ පැවසූහ. යාපනයේ විද්යාල දෙකක් මත්පැන් රහිත බිග් මැච් දෙකක් සංවිධානය කර එයට ජනාධිපතිවරයාටද ආරාධනා කර ඇතැයි ජනමාධ්ය නියෝජ්ය අමාත්ය කරුණාරත්න පරණවිතාණ මහතා මෙහිදී සදහන් කළේය.

මෙම අවස්ථාවට කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, ත්රිකුණාමලයේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.