Boston Lanka with WENASA: පැරෂුුට් එකක යන්න ආසද?

Asanka Satharasinghe

නිරාශා පියවදනි

මේ පින්තූරෙ මට මුණ ගැසුණෙ අසංක සතරසිංහ කියන මාධ්‍ය සහෘදයාගෙ Facebook පිටුවෙන්. පින්තූරෙ අපූර්වත්වය නිසාම එහි   තිරෙන් පිටුපස කතාව හොයාගෙන යන්න බොස්ටන් ලංකා තීරණය කළා.

අසංක සතරසිංහ කියන්නෙ ශ්‍රී ලාංකික රසික හිතවතුන්ට අමුත්තෙක්නම් නෙවෙයි. ඇල්මැරුණු රූප පෙට්ටියට ජව සම්පන්න වෙනසක් අරන් ආපු අතලොස්සක් වැඩ සටහන් අතරින් ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහන  විශේෂයි. වෙනස  නිවේදනයෙන් හැඩ කරන කටකාරයො අතරට අලුතින් එකතු වුණු සාමාජිකයෙක් තමයි අසංක.

බොහොමයක් දෙනා නොදුටු  නොදන්න   අපූරු ඉසව් හොයාගෙන රට පුරා කරක් ගහන්න වෙනස නඩේ කට්ටිය හරි   රුසියො. මේ පාර ඔවුන්ගෙ කුරුමානම වෙලා තිබුණෙ අලුත්ගම මුහුදු තීරය.එහි සංචාරකයන්ගේ නෙත් සිත් වශී කරවන අපූරු අංග අතරෙ මේ පින්තූරය හැඩ කරන පැරා මෝටර්ස් ලංකාවට  අලුත් අත්දැකීමක් කියලා අපිට කියන ගමන්ම අසංක ඒ ගැන වැඩි විස්තර කිව්වෙ මේ විදියට.

“පැරා මෝටර්ස් කියන්නෙ පැරෂුට් එකක්ම නොවුනත් පැරෂුට් පවුලේම සාමාජිකයෙක් කියලා කියන්න පුළුවන්. හෙලිකොප්ටර්ස්,  බනානා බෝර්ට්, වෝටර් ජෙට් වගේ ලංකාවෙ සංචාරකයන්  කුල්මත්  කරන දේවල් අතරෙ පැරා මෝර්ටර්ස් කියන්නෙ ලංකාවට අාපු අලුත් සාමාජිකයෙක්.

මේ යානයේ ත්‍රි රෝද රථයක් වගේ සකස් කළ කොටසේ වාඩි වුණාට පස්සෙ මෝටරයක් ආධාරයෙන්  යානය බීච් එක දිගේ ටික දුරක් ගිහින්  අහසේ පියාසර කරනවා. පැරෂුට් එකක් වගේ පිටුපසින් සවි කරලා තියන බැලූන් එකේ ආධාරයෙන් තමයි මෙය අහසේ පියාසර කරන්නෙ. ටුවරිසම් කරන අය සංචාරකයන්ව වරකට විනාඩි 12ක් විතර අහසේ පියාසර චාරිකාවක් එක්කන් ගිහින් ඔවුන්ට සුන්දර අත්දැකීමක් ලබා දෙනවා. වෙනස වැඩ සටහන වෙනුවෙන් මට මේ යානයේ අඩි 10000ක් විතර අලුත්ගම අවට පියාසර කරන්න අවස්ථාව ලැබුණා.”

අසංක මේ විස්තර කිව්වෙ තවත් රසවත් තොරතුරු ගොන්නක්ම හංගගෙන කියලා අපිට හොදින්ම තේරුණා. හැබැයි  පෙබරවාරි 15 වෙනි බදාදා රාත්‍රී 10.00ට විකාශනය වෙන වෙනස බැලුවොත් පැරා මෝර්ටර්ස් ගැන අසංක අපිට හෙළි නොකරපු අපූරු තොරතුරු රසවිදින්න අමාරු වෙන්න නැහැ.

මේ වැඩසටහන වෙනුවෙන් කැප වෙන නිෂ්පාදක නඩේ වැඩකාරයො ටිකත්, ඒ අතරින් විශේෂයෙන්ම රසික වින්දන නිෂ්පාදකතුමාවත් මතක් කරන්න අසංක අමතක කළේ නැහැ.

දන්නවද? අපේ නෙත් ඇදගත් පින්තූරෙ අරගෙන තියෙන්නෙත් වෙනස නඩේම සාමාජිකයෙක් වුණු අරෝෂ්  ඩයස්. අරෝෂ් විනෝදෙට ගත්තු මේ පින්තූරෙ තමයි අපිට රසවත් කතාවක සුල මුල කිව්වෙ.