අන්තිම දුම්රිය

Last train

නීතිඥ උපුල් කුමාරප්ෙපරුම

එක්දහස් නවසිය හැත්තෑ හතේ ජාතිවාදී කෝලාහල ආරම්භයත් සමගම යාපනය සරසවියෙහි සියලුම සිංහලයන්ට යාපනය හැර යෑමට සිදුවිය. යාපනයේ සරසවියේ සිටි සිංහලයෝ බස්රථ දහයකින් යුධ රථ කිහිපයක දැඩි ආරක්ෂා සහිතව අනුරාධපුරයට ගෙන ආහ. ඔවුන් යාපනයේ සිටගෙන ආවේ අද යුද හමුදා කඳවුරක්ව ඇති සුනාත විශ්‍රාම ශාලාවටයි. ශිෂ්‍යයන් මෙන්ම ඇදුරන්ද අනෙක් සේවකයන්ද ඒ අතර වූයේය.

ඔවුන් අනුරාධපුරයට ගෙන එද්දී ජාතිවාදි ගින්දර අනුරාධපුරයම වසා පැතිරෙමින් තිබුනේය. තැන තැන ගිනි ගන්නා කඩ සාප්පු, මිනිසුන්ගේ අඳෝනාවන්, අයැදීම්, වැඳ වැටීම් සමග තවත් කෙනෙකුගේ පරැෂ වචනයන්, බැන වැදීම්, තර්ජනයන් මේ සියල්ල එකවර ඇසුනේය පෙනුනේය. යාපනයේදී ඔවුන්ට එරෙහිව නැගී සිටි පීඩකයා අනුරාධපුරයේදී පීඩිතයා බවට පත්ව ඇත්තේය.

ඔවුන්ව රැගෙන පැමිණි ආරක්ෂක අංශයන්හි වගකීම අනුරාධපුරයෙන් අවසන්ව ඇත. එතැන් සිට තම ආරක්ෂාව තමන් සලසා ගත යුතුය. නගරය නීතියේ පාලනයෙන් මිදී ඇත්තේය. නීතිය රැකීමට බැඳී ඇත්තන්ද වගකීමක් ගැනීමට සූදානමක් නැති සේය. ගමනාගමනය නැවතී ඇත. කඩපිල් වැසී ඇත. ඇරී ඇති කඩපිල්වල බඩු මුට්ටු එකිනෙකාට රිසි සේ ගෙන යන්නේය. හිස්වූ කඩ සාප්පු ගිනි තබන්නේ ඒවා තවදුරටත් අවශ්‍ය නැති බව හඟවමිනි. තවත් තැනෙක මිනිසෙකුට පහර දෙයි. ඔහුව මරා දමයි, සිරැරට ගිනි තබයි. නගරයේ තැනින් තැන අහසට විහිදී ගිය කොත් කැරළි ගිනි ගෙන දැවෙන්නාවු මනුෂ්‍ය ශරීරයන්ගේ සහ ඒ මනුෂ්‍යයන්ට ජීවිකාව ගෙන දුන් දේපලෙන් නැගෙන්නාවූ ගිනි දැල් සහ දුම් රොටු වලින් අව පැහැ ගැන්වී අති සේය.

බස් රථ ගමනාගමනය නැවතී ඇත. පුද්ගලික වාහන හෝ ටැක්සි රථ වෙනදා මෙන් නගරයේ තිබුනේ නැත. කොලඹට යා හැකි එකම ක්‍රමය දුම්රිය බවට පත්ව තිබුනේය. යාපනයේ සිට පැමිණියවුන් අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන්නට වූයේ කෙසේ හෝ හැකි ඉක්මනින් කොලඹට පැන ගැනීමටය. දුම්රිය ස්ථානයද පාලනයෙන් බැහැර වී ඇත. ද්‍රවිඩ ජාතික දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානයේම ඝාතනයට ලක්වී ඇත. මගීන්ගෙන් මෙන්ම සාහසිකයන්ගෙන්ද දුම්රිය වේදිකාවන් පිරී ඉතිරී ඇත. දිවි බේරා ගන්නවුන් හමුදාවේ මැදිහත්වීමෙන් කච්චේරියේ වත්තට ගෙන යයි. කච්චේරි වත්තද පිරී ඉතිරී ඇත. කචචේරි වත්ත මැදට වනසේ දිවි ගලවා ගත්තවුන් එක් රොක් වී සිටින්නේ ජාති මාමකයෙකුගේ අතින් ගිලිහෙන ගල් පහරෙන් බේරීම සඳහාය.

කොලඹ සිට පැමිණි පළමු දුම්රිය සිසුන් සියලුදෙනට වෙන් වූයේය. දුම්රිය කොලඹ බලා පිටත්විය. තවත් දුම්රියක් පැමිණෙන වෙලාවක් හෝ තවත් දුම්රියක් පැමිණෙත්දැයි කවුරැන් හෝ දැන සිටියේ නැත. කොලඹ යන්නට තවත් බොහෝ දෙනෙකු බලා සිටියි. වේදිකාවෙහි මෙන්ම එයින් පිටත ද සෙනඟ රැඳී සිටිති.

දුම්රිය ස්ථානය අභියස බොහෝ දෙනෙකු රැඳී සිටියි. පොලු මුගුරැ ගත්තෝද ඒ අතර වෙති. ඔවුහූ ගොදුරැ සොයමින් සිටිති. ඔවුහූ ඉව අල්ලමින් ගොදුරැ හඳුනා ගන්නට බලති.

ගෙවෙන සෑම මොහොතක්ම භයංකාරය. එලැඹෙන සෑම මොහොතක්ම අවිනිශ්චිතය. කෙනෙකු ඊලඟ නිමේශයක දකින දෑ හෝ විඳින දෑ කව්රැන් හෝ දැන සිටියේ නැත. දුම්රිය ස්ථානය ඉදිරියේ එක් මිනිස් පොදියෙකි. කාට හෝ පහර දෙනු ඇත. පහර කන්නා ප්‍රහාරකයන්ගෙන් වැසී ඇත. ඔහු පෙනෙන්නේ නැත. මේ මිනිස් පොදිය අතරින් ගැහැණියක බිම දිගෙහි ඇදෙමින් එලියට ආවාය. ඇයද ප්‍රහාරයට ලක්වී ඇත. කොන්ඩය කැඩී අවුල්ව ඇඳිවත ඉරි ගැලවී සිරැරෙහි තැන තැන තුවාලයන් සමග ඈ ඒ මහා මිනිස් පොදිය අස්සෙන් මතු උනාය. එසැනින්ම ඈගේ එක් අතක් රලුව අල්ලා ගත් තරැණයෙකු ඈ සිටි තැනින් ඈතට ඇදගෙන යන්නට වූයේය. ඈ තරැණයාට හස්බන්ඩ්, හස්බන්ඩ් යැයි කියමින් පිටුපස බලමින් ඒ මහා මිනිස් පොදිය දෙසට නිදහස් අත දිගු කලාය. ඔහු ඇයව තවත් දෘඩ ලෙස ග්‍රහ‍ණය කර ගනිමින් දුවන්නට වන. ඒ පිටු පසින් මිනිස් පොදියෙන් කැඩී ගිය කිහිප දෙනෙකු හඹා එන්නට වූ නිසාය. මිනිස් පොදියෙන් කැඩී ආවුන්ගේ මුවින් පිට වන්නේ දෙමලුන් දෙදෙනා අල්ලන්නටයැයි බලා සිටින්නවුන්ට කෙරෙන විධානයයි. එහෙත්.ඒ අවට කිසිවකුත් ඔවුන් අල්ලන්නට පැමිණියේ නැත. ඔහු ඇය අත ග්‍රහණය කොට ගෙන දුවන්නේය,ඇයද ඔහු හා සමානවම දුවන්නීය. ඇය ඔහුගේ ස්පර්ශය හැඳින්නීය. එම ස්පර්ශයෙන් සංවේදනය වන්නේ ආරක්ෂාව බව ඈ හැඳින ගත්තීය. මරණ බය විසින් ඔවුනට මහත්වූ ජවයක් ලබා දී ඇත්තාක් මෙනි, මිනිස් පොදියෙන් ගැලැවී ආ උන්ට සොයා ගත නොහැකිවනසේ දුව ගොස් රේල් පාරට පැන ගත්තේය. නැවතත් දුම්රිය ස්ථානයෙහි කෙලවරකට පැමිණියාහුය. ඇය රැක ගත හැකි එකම සහ හොඳම අභය භූමිය ලෙස ඔහු දුටුවේ දුම්රිය සංඥා කුටියයි. ඔහු ඈ ඒ අසල සැඟවූයේය. පැහැදිලි කල හැකි උපරිමයෙන් පැහැදිලි කොටඑතැනආරක්ෂාව ගැන සහතික දුන්නේය. ඇය හඩමින් කල කන්නලව්වක ස්වරෑපයේ ඉල්ලීම ඔහුට වැටහුනේ නැත. ඔහු යන්නට සැරසෙත්ම ඇය හඩමින් ඔහුට ස්තූති කලාය. ඔහු නැවතත් වේදිකාව ඔස්සේ ඉදිරියට ගමන් කරන්නේය. ඈ ඔහු යන දෙස බලා සිටියේ ඈගේ අවසන් ආරක්ෂකයාද ඈගෙන් වෙන්වූ ශෝකය නිසා විය හැකිය.

ඔහු සමග උදෑසන සිට
සැරිසැරෑ ඔහුගේ මහාචාර්යවරයා ඔහු සොයමින් සීනි සම්බල් තැවරෑ පාන් භාගයක් අතැතිව වේදිකාවෙහි බලා සිටින්නේය. ඒ සමගම තවත් දුම්රියක් පැමිණ වේදිකාවෙහි නවත්වන්නේ ඉතිරි සරණාගතයන්ද කොලඹට ගෙනයන්නටය. එය දවසේ අවසන් දුම්රියයි. මහාචාර්යවරයා සහ ඔහු ද ඇතුලු සෙනග පිරී ඉතිරී ගිය දුම්රිය සෙමින් සෙමින් වේදිකාවෙන් නික්ම සංඥා කුටිය පසුකරයත්ම ඇය මොහොතකට පෙර සැඟවුනු ආකාරයෙන්ම ගුලිවී වාඩිවී ඇදී යන දුම්රිය දෙස බලා සිටිනු ඔහුට පෙනුනේය. දුම්රිය පැමිණීමත් සමග දුම්රිය වේදිකාවට පැමිණි නාවික හමුදා භටයෝ සංඥා කුටිය දෙසට පිය නගන සැටි කවුලුවෙන් දුටු ඔහු සුසුමක් හෙලා සීනි සම්බෝල තැවරෑ පාන් කැබැල්ල අතට ගත්තේය.

( යාපනය සරසවියේ සිට පලා ආ සෙනග අතර උන් මහාචාර්යවරයා සුචරිත ගම්ලත් මහතා වන අතර ඔහුගේ ගමන් සගයා වී ඇත්තේ එම සරසවියේම සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කල අසෝක පීරිස් මහතාය)