ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් විශේෂඥ වෛද්‍ය කමිටුවට ලබාදෙන ලෙස CID යට නියෝගයක්

dinesh-shafter

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලබාගෙන ඒවා ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මේ වනවිට අදාළ ඇඳුම් දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර එම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් මරණය සිදු වූ ස්ථානයේ සහ මරණකරු සිටි වාහනය තුළ තිබි සොයාගත් ද්‍රව්‍ය විමර්ශන සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙසද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පරීක්ෂණ වාර්තා සැප්තැම්බර් මස 05 වනදා යළි කැඳවීමටද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.