හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම නඩුව විත්තිකරුගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා ගොනුකරන ලද්දක් බවයි.
2009 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

