හික්කඩුව වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින අළුයම 1.30ට පමණ දඩල්ල මුහුදු තීරයේදී කැස්බෑවකු දමා තිබූ බිත්තර ලබාගත් අයෙකු බිත්තර 120ක් සමග අත්අඩංගුවට ගැනීමට හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට හැකි විය.
මේ දිනවල විදෙස් සංචාරකයන් බහුල ලෙස පැමිණෙන අතර එම නිසා කැස්බෑ බිත්තරවලටද වැඩි ඉල්ලුමක් ඇත.විශේෂයෙන් චීන ජාතිකයන් අතර මෙම කැස්බෑ බිත්තර යොදා සකස් කළ ආහාර වලට දැඩි කැමැත්තක් දක්වයි .
සාමාන්‍ය කැස්බෑ බිත්තරයක් රුපියල් පනහක් හැටත් අතර මිලකට අලෙවි වන අතර එයින් සකස් කල ආහාරයක් රුපියල් 2500ක පමණ මුදලකට අලෙවි කෙරේ.බටු කැස්බෑවා වනජීවී සහ වනරස් සංරක්ෂණ පනත යටතේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කර ඇත.
කැස්බෑ බිත්තර සමග අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිනී විධාන ගමගේ මහත්මිය විසින් සැකකරු;රුපියල් 60000ක දඩයකට යටත් කළ අතර අත්අඩංගුවට ගත් කැස්බෑ බිත්තර දොඩන් දූවේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැස්බෑ රක්ෂණ මධ්‍යස්ථානය වෙත ලබාදීම සිදුකරන ලදී.මෙසේ කැස්බෑ බිත්තර ළඟ තබා ගැනීමට වග උත්තරකරු වූයේ දඩල්ල ජයන්ති මාවතේ පදිංචි දෙවරාහන්නදි වසන්ත ද සිල්වා නමැත්තෙකුටය.
වන ජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ මෙම නඩුව පවරා තිබුනි.
හික්කඩුව වනජීවි කාරයාලයේ උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත දොඩන්දුව අඩවි වන ස්ථාන භාර නිලධාරී එල්.ටි.ධම්මික එල්.ඩි.මෙන්ඩිස්.එස්.ජි.කසුන් සෝමසිරි ආර්.ටි.බෝපගේ ජගත් නානායක්කාර සමන් ගුරුසිංහ යන නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.

