දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කරමින් ඔවුන් මුළා කර ලිංගික අතවරයන්ට ලක් කිරීම සහ දේපළ ලබා ගැනීමේ සිදුවීම් පසුගිය කාලසීමාව තුළදී වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ විවිධ ආහාර වර්ග හා බීම වර්ග පානය කිරීමට සලස්වා මත් කිරීම් හා සිහිසුන් කිරීම් ආදී ක්‍රියා මගින් කාන්තාවන් අතවරයට පත් කිරීම් සහ දේපළ සොරකම් කිරීමේ සිදුවීම් මෙන්ම වංචනික පුද්ගලයින් විසින් විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දෙමින් කාන්තාවන් රවටා ඔවුන්ගේ විශ්වාසවන්ත භාවය ඇති කර ගෙන අනතුරුව මුදල් හා දේපළ ලබා ගැනීම් සිදුකරන අතර අවසානයේ මනුශ්‍ය ඝාතනයන්ගෙන් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී ඇති බවය.
ඒ අනුව මෙම සිදුවීම් සම්බන්ධව අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස සහ මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ කරුණු කිහිපයක් පොලීසිය විසින් මහජනතාව වෙත දැනුවත් කර තිබේ.

