රේගුවේ බහලුම් මුදා හැරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඩිජිටල් වෙයි…..

Anil

රජය ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට සෑම විටම කටයුතු කරන බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බහාලුම් මුදා හැරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමේ අවස්ථාවට අද (30) එක්වෙමිනි.

මෙම ක්‍රියාවලිය තුළින් නිලධාරීන්ට සිය අභිමතය පරිදි බහාලුම් මුදාහැරීමට හැකි වටපිටාවක් වෙනුවට සියලුම ආනයනකරුවන්ට එකම ක්‍රමවේදයක් යටතේ වේගවත්ව සේවාවන් ලබාදීමට හැකිවනු ඇත.

අල්ලස දූෂණය සඳහා ඇති අවස්ථා ද මෙමගින් අවම වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය මඟින් වෙළෙඳ ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබාදීම සිදු කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශ නිවේදනය කළේය.

බහාලුම මුදා හැරීම, ආනයන කටයුතු සඳහා මුදල් වැය කිරීම, භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් ගාස්තු අයකිරීම යන කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීම අද (30) සිදු කෙරුණි.

ඒ අනුව මෙතෙක් දින කිහිපයක් ගත කරමින් භෞතිකව ලියකිවිලි රැසක් ඔස්සේ කළ ඇතැම් කටයුතු සිය කාර්යලයේ සිටම විනාඩි කිහිපයකින් සිදු කිරීමට නාවික සමාගම්වලට අවස්ථාව උදාවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.