බෝලවත්ත දුම්රිය ස්ථානයට පහර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

bogawanthalawa-train

වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

බෝලවත්ත දුම්රිය ස්ථානයේ වේදිකාව මත පුද්ගලයින් කිහිපදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔවුන්ට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය දැනුම්දී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරකෑමෙන් බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර සිද්ධියෙන් පසු බෝලවත්ත දුම්රිය ස්ථානය ඊයේ රාත්‍රී තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 සහ 45 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.