දේශීයව ඇසුරුම් කළ හෝ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම අංක 96 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය (ගැසට් අංක: 2492/29) අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.
මෙම නව නියෝගයට අනුව, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම කිසිදු නිෂ්පාදකයෙකුට, ඇසුරුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
නව මිල පාලන නියෝගයත් සමඟ 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/15 දරන ගැසට් පත්‍රයේ පළ කර තිබූ පැරණි මිල පාලන නියෝගය (අංක 93) අවලංගු වන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
නව ගැසට් නිවේදනයට අනුව උපරිම සිල්ලර මිල ගණන්
| ජල බෝතලයේ ධාරිතාව | උපරිම සිල්ලර මිල |
| මි. ලීටර 500 සිට 999 දක්වා | රු. 80.00 |
| ලීටර 1 සිට 1.499 දක්වා | රු. 120.00 |
| ලීටර 1.5 සිට 1.999 දක්වා | රු. 150.00 |
| ලීටර 2 සිට 2.499 දක්වා | රු. 180.00 |
| ලීටර 5 සිට 6.999 දක්වා | රු. 400.00 |
මෙම නියෝග උල්ලංඝනය කරමින් වැඩි මිලට ජල බෝතල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් දිවයින පුරා දැඩි සෝදිසි කිරීම් සහ වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

