බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්….

News Iamges.00_00_00_16.Still303

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා හරිත සංවිධාන නියෝජනය කරමින් සංක චන්දිම අබේවර්ධන විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

බලශක්ති අමාත්‍යවරයා විසින් පොහොර සංස්ථාවේ සේවය කරන අවදියේදී සිදුකරන ලද දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවකින් රජයට පාඩු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

එමෙන්ම අමාත්‍යවරයා අමාත්‍ය ධුරය දැරීමේදී ගත් යම් යම් තීරණ හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇතැයිද මේ සම්බන්ධවද විමර්ශනය කරන ලෙස ඉල්ලා හරිත සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

පැමිණිල්ල ගොනු කළ සංක චන්දිම මහතා පැවසුවේ සියලු සිදුවීම්වල ලිපි ලේඛණ අල්ලස් කොමිසම වෙත භාර දුන් බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා සම්බන්ධව තීරණයක් ගත යුතු බැවින් වහාම ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරිය යුතු බවත්ය‍.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංක චන්දිම අබේවර්ධන මහතා,

“මේ අන්ත දූෂිතයෙකුට අමාත්‍යධුරයක් දුන්නාම මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැද්ද? ඒ ප්‍රශ්නවලට ජනාධිපතිවරයාට වගකීමක් නැද්ද?, ජනාධිපතිවරයා වහාම මේ සම්බන්ධව පියවර අරගෙන මේ දූෂිත ගනුදෙනු සියල්ල අහෝසි කරලා දාන්න ඕනේ සහ ඔහුව ධුරයෙන් පහ කරන්න ඕනේ”