පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

court-2

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පා ගමනක් සංවිධානය කර තිබූ බවත්, නිත්‍යානුකූල ලෙස සාමකාමීව සිදු කළ එම පෙළපාලියට පොලීසිය විසින් විවිධ අවස්ථාවල හිරිහැර හා බාධා කිරීම් සිදු කළ බවත්, ඒ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් මස 28 වනදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 31 වනදා යලි කැඳවන ලෙසද නියෝග කර තිබෙනවා.