දිඹුලපතන පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ තවත් සිව් දෙනෙකු ජූලි මස හයවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලිසියේ නිළධාරින්ගේ රාජකාරියට බාධා කර කලහකාරි ලෙස හැසිරුනු පිරිසකි.
අදාළ සිද්ධියේ ප්රධාන සැකකරු ඇතුලු තවත් තිදෙනෙකු අද (22) දින නීතිඥයෙකු මාර්ගයෙන් හැටන් මහේස්ත්රාත් අධිකරණයට භාරවිය.
ඉන් අනතුරුව එම සැකකරුවන් සිව්දෙනා ජූලි මස (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් පීටර් පෝල් මහතා නියෝග කළේය.
එම සැකකරුවන් සිද්ධිය වු දින සිටිම පොලිසිය මගහරිමින් ප්රදේශයෙන් පලා ගොස් සිටි බවයි දිඹුලපතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේය.
එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 11 දෙනෙකු දිඹුලපතන පොලිසිය මගින් මිට ප්රථම අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඉන් අනතුරුව එම සැකකරුවන් ජුනි මස 22 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කර ඔවුන්ට රුපියල් 50,000ක පුද්ගලික ශරීර ඇප මත මුදා හැර එම නඩුව යළිත් ජූලි මස (06) දින කැඳවීමට හැටන් මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
අයුතු ජනරාශිය, රජයේ සේවකයෙකුට සාපරාධීව බලහත්කාරකම් කිරීම, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම, ප්රසිද්ධ ස්ථානයක බීමත්ව අශෝබන ලෙස හැසිරිම, කලහලය යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව දිඹුලපතන පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබුණි.

