පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර සිදුකරන මූල්‍ය වංචා ගැන පොලීසියෙන් නිවේදනයක්…..

News Iamges.00_00_00_00.Still2768

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදු කරනු ලබන මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් සඳහන් කර ඇත්තේ අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර වංචනික පුද්ගලයින් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් සම්බන්ධව පැමිණිලි වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන සිදුකර අවස්ථා ගණනාවකදී සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

පරිගණක හෝ ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය මගින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්සප් ගිණුම්, ටෙලිග්‍රෑම් ගිණුම් ආදිය භාවිත කරමින් පුද්ගලයින් රවටා සිදුකරන මූල්‍ය වංචාවන් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන්වල මේ වන විට වර්ධනයක් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇතැයිද පොලීසිය අදාළ නිවේදනය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට හසු නොවන ලෙසට පොලීසිය නැවත නැවතත් මහජනතාවට දැනුම් දී ඇති අතර ඒ අනුව කරුණු කිහිපයක් සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන ලෙසත් අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ.