පසුගිය කාලේ පාසල් 81 වහලා දැන් ඒ ගොඩනැගිලි විකුණන්න හදනවා. පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

WhatsApp Image 2024-05-12 at 17.09.57

දර්ශාන් ප්‍රනාන්දු
12/04/2024

පසුගිය කාලය තුළ රටේ පාසල් 81ක් වැසී ගොස් ඇති බවත්, එමගින් එම පාසල්වල අධ්‍යාපනය ලැබූ සිසුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ චෝදනා කරයි. එහි ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණිහිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියන් “බලය ගැන පමණක් හිතන පාලකයන් රටේ අධ්‍යාපනය අමතක කරලා ගෙවුණු කාලය තුළ පාසල් 81ක් සම්පූර්ණයෙන්ම වහලා දාලා. ඒ විතරක් නෙවෙයි එම වහපු පාසල්වල ගොඩනැගිලි හා අනෙකුත් සම්පත් පෞද්ගලික ආයෝජකයන්ට විකුණන්නත් බලාපොරොත්තු වන බව අධ්‍යාපන නැමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේක ඉතාම බරපතල තත්වයක්. ආණ්ඩුව සල්ලි හොයාගන්න අද වෙනකොට රටේ ස්වභාවික සම්පත් වගේම ජාතික සම්පත් කුණු කොල්ලෙට විකුණමින් තියෙන්නේ එහිම දිගුවක් ලෙස තමයි පාසල් වලට ස්වාභාවික මරණයක් අත්පත් කරලා දීලා එම පාසල් වළ භෞතික සම්පත් විකුණලා මුදල් හොයන තැනකට ආණ්ඩුව පත් වෙලා. මේක ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන තවත් මොහොතක් හැටියට තමයි අපි දකින්නේ.

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා ඊනියා වැඩපිළිවෙළක් ගෙනල්ලා තියෙනවා. ඒ වැඩපිළිවෙලේ නිශ්චිතව සඳහන් වෙනවා මේ විදිහේ පාසල්වල හා උසස් අධ්‍යාපන ආයතන තුළ භාවිතයට නොගන්නා භෞතික සම්පත් ආයෝජකයන්‍ට කුලියට දෙනවා කියල. අපි දකින්නේ මේකත් එවැනිම ක්‍රියාවක් හැටියට. ඒ වගේම අපි ආණ්ඩුවෙන් අහනවා ඇයි ඒ ගොඩනැගිලි භාවිතයට නොගන්නේ. ඒක මේ රටේ ගුරුවරුන්ගේවත්, දෙමාපියන්ගේවත් දරුවන්ගේවත් වරද්දක් නෙවෙයි. ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නය. නැතුව ඉස්කෝලවල සම්පත් වැඩි නිසා විකුණනවා නෙවෙයිනේ.

ඒ වගේම තමා මේ විදියට පාසල් වැහෙන්නේ නඩත්තු කරගන්න බැරි නිසාවත්, ළමයි නැති නිසාවත් නෙවෙයි. ආණ්ඩුවට පාසල් පද්ධතිය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් නැති නිසා. අපි අහන්නේ මේ දරුවන්ට දැන් අධ්‍යාපනය හදාරන්න තියෙන අවස්ථාව මොකක්ද කියල?

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී ජීවිත ගත කරන්න ඕන තරම් මුදල් තියෙනවා. නමුත් රටේ අධ්‍යාපනය නගා සිටුවීමට ප්‍රතිපාදන වෙන් කරන්න බෑ. පසුගිය කාලේ අපි ඕන තරම් දැක්කා මහා පරිමාණ වංචා දූෂණ එමගින් මහජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරා ගත්තා, වංචා කරා. එහෙම වංචා කරේ මේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෙන් කරන්න තිබුනු මුදල්.

එනිසා අපි මහජනතාවට කියනවා මේ පාලකයන්ගෙන් තවදුරටත් සහන බලාපොරොත්තු වෙලා වැඩක් වෙන්නෙ නෑ. මේක හරියට ” බීරි අල්ලන්ට වීණා වාදනය කරනවා වගේ වැඩක්”. එනිසා ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගතහැකි, ජනතාවට සේවය කිරීමට හැකි ජනතාවාදී පාලනයක් නුදුරේදීම පිහිටුවා ගැනීම වෙනුවෙන් සංවිධානය වෙන්න, ඒවෙනුවෙන් වහෙස නොබලා කටයුතු කරන්න කියලා අපි මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාසල් සුරැකීමේ ජනත ව්‍යාපාරයේ ලේකම් නාගස්ථන්නේ අරුණ හිමියන්, එහි ජාතික සංවිධායක ගැමුණු විජේකීර්තී සහෝදරයා, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ. ජී. අමරජීව මහතා, දෙමව්පියන් නියෝජනය කරමින් අසංක ප්‍රනාන්දු මහතා හා රත්නාවලී කරුණාජීව මහත්මිය යන අය සම්බන්ධ විය.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
2024 – 05 – 12

WhatsApp Image 2024-05-12 at 17.09.57