නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් අද රට පුරා විරෝධතා

27b7511cd2d2ff88c8b39b871c128f4b

75 වන නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් අද (04) දිවයින පුරා ස්ථාන රැසක මහජන විරෝධතා පැවැත්වුණා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ජ’පුර විශ්වවිද්‍යාල අසළින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර එහිදී ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කිරීම සහ ජීවන වියදම පහළ දමන ලෙස බල කරමින් එම විරෝධතාවය පැවැත්වුණා.

අන්තරේ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය, කැරලි මර්දන අංශ සහ හමුදාව යොදවා තිබූ අතර පසුව විරෝධතාකරුවන් විසින් ජ’පුර විශ්වවිද්‍යාල ඉදිරිපිට සිය විරෝධතාවය පැවැත්වීමට කටයුතු කර තිබුණා.

‘නව නිදහස් අරගලයක්’ යන තේමාව යටතේ අලුත් පියාපත් සංවිධානය විසින් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය ආසන්නයේ විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර මරදාන ප්‍රදේශයේ දී කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් විසින් තවත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශානක්‍යයන් රාසමානික්කම්ගේ සහ එම්.ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, කල්ලඩි පාලම අසළ දී නිදහස් දින සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

‘නිදහස තව කළු දිනයක්’ යන තේමාව යටතේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින්ද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර එයට සහයෝගය පළ කරමින් යාපනයේ වෙළෙඳසැල් වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් ද පවත්වා තිබුණා.