දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..

Tax

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ, නාස්තිය අවම කිරීම මඟින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්ක ඉක්මවා යෑමට හේතුවක් වූ බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක්වන නව සහකාර කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා අද (15) එම මූලස්ථානයේ පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, බදු ආදායම රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා නොගැනීමේ අත්දැකීම් ඇති ජනතාවක් ඉන් මුදා ගැනීම පහසු කාර්යයක් නොවන බවය.

එම ආදර්ශය ආණ්ඩුව බදු ගෙවන ජනතාව වෙත ලබාදෙමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යාවරයා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ බදු ආදායම ඉහළ යෑම දුෂණ අවම වීමට හේතුවක් බවද කියා සිටියේය.

මීට පෙර එම ප්‍රතිශතය 10%ක මට්ටමට පත්වූ තිබූ බවත්, මේ වසර අවසන් වනවිට එය 16%ක මට්ටමට ළඟා කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව බඳවා ගැනීම් සේම ඊට කාන්තා ශ්‍රම දායකත්වය ද ඇතුළත් වීම අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කාන්තා ප්‍රතිශතය පුරුෂ ප්‍රතිශතයට ඉහළ අගයක් ගත්තද කාන්තාවගේ දායකත්වය ශ්‍රම බළකායෙන් 30%ක පහළ ප්‍රතිශතයක් පවතින බවද පැවසීය.

මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසා සිටියේ 2025 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය රු බි 2,195ක් වූ අතර, මේ වනවිට එම ඉලක්කය ඉක්මවා යෑමට ඔවුන් සමත්ව ඇති බවත්ය.

මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතිරේකව රු බිලියන 50ක ආදායමක් ලබාගෙන ඇතැයි ද පැවසු ඒ මහතා, රජයේ අපේක්ෂාව වන්නේ කිසිසේත්ම බදු ප්‍රතිශතය ඉහළ නැංවීම නොව බදු පදනම පුළුල් කිරීම බව ද පැවසීය.

මේ සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් අදාළ නීතිරීති සම්පාදනය කරමින් අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානම් බවද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ට එම මුදල් එකවර ගෙවන්නේ නම් අදාළ පොලී මුදල අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කරමින් පවතින බවද මෙහිදී සඳහන් කළේය.

මෙහිදී දේශීය ආදායම් සහකාර කොමසාරිස්වරු 100කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි.