දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන් කෙරේ…..

News Iamges.00_00_00_00.Still2750

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කළ මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ සාර්ථක සමාප්තිය සනිටුහන් කිරීමේ උත්සවය අද (11) කොළඹදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා එක්ව ප්‍රධානත්වය දැරූහ.

මෙහිදී අදහස් දැක්වූ Marc-André Franche මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ශක්තිමත් දේශපාලන නායකත්වය සහ ආපදා තත්ත්වයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක කළ මානුෂීය සහන වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකි වූ බවය.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පෙන්වා දුන්නේ, ශක්තිමත් ජාතික නායකත්වයක් සහ සාර්ථක හවුල්කාරිත්වයක් තුළින් අර්බුදකාරී අවස්ථාවලදී ජනතාවට කාර්යක්ෂමව සහ සාධාරණව සහන සැලසිය හැකි බව ශ්‍රී ලංකාව නැවත වරක් ඔප්පු කර ඇති බවය.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදුන් නිවැරදි දත්ත සහ තක්සේරු කිරීම් ජනතාවට කඩිනමින් සහන සැලසීමට මහත් පිටිවහලක් වූ බවද ඔහු සඳහන් කළේය.

දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 35.4ක අරමුදලක් රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබූ අතර, එම මුදලින් සියයට 75ක ප්‍රමාණයක් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන්කර තිබේ.

එහිදී විපතට පත් එක් පවුලකට රුපියල් 27,000ක මූල්‍ය දීමනාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදී ඇති අතර, තාවකාලික නිවාස ඉදිකිරීම් ඇතුළු සහන වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කර ඇත.

මෙම සැලැස්ම යටතේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 9ක් ඔස්සේ සහන සේවා ක්‍රියාත්මක කර ඇති අතර, ඉලක්කගත ලක්ෂ 6.5කට අධික ජනගහනයෙන් සියයට 87කට ආසන්න පිරිසක් වන පුද්ගලයින් 575,000කට සෘජුවම ප්‍රතිලාභ ලබාදී ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි.

උත්සව අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ. ජී. ධර්මතිලක මහතා, විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර සහන සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.