බූස්ස බන්ධනාගාරයේ සවිකර ඇති ජෑමර් පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි සිටින අපරාධකරුවන් රිසිසේ ජංගම දුරකථන බන්ධනාගාරය තුළදී භාවිත කරන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම බන්ධනාගාරය තුළදී සිදුකරන පරීක්ෂා කිරීම් සඳහා බූස්ස බන්ධනාගාරයට යන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් නිසි සහායක් නොලැබෙන බවටද වාර්තා වේ.
මෙම මෙහෙයුම් සඳහා බන්ධනාගාර අධිකාරිවරයා සහ ප්‍රධාන ජේලර්වරයා පමණක් නිසි සහාය ලබා දෙන බවත් සෙසු නිලධාරීන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
තවද විශේෂ කාර්ය බළකා නිලදාරීන්ට බන්ධනාගාරයට ඇතුළුවීම ප්‍රමාද කරමින් ඇතැම් දූෂිත නිලධාරීන් අපරාධකරුවන්ට ඒ පිළිබඳවද දැනුම්දෙන බවට තොරතුරු ලැබී ඇති බවත් එම ලැබෙන අවස්ථාවෙන් අපරාධකරුවන් ජංගම දුරකථන විවිධ ස්ථානවල සඟවන බවට විමර්ශනයේදී හෙළිව තිබේ.
පවතින මෙම තත්ත්වයන් හමුවේ බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුළ රඳවා තිබී ජංගම දුරකථන 15ක් පොලිස් විශේෂ කාර්ය බළකාය අද (27) දිනයේද සොයා ගෙන තිබේ.
එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ලොකු පැටීගේ සිර මැදිරියෙන් ජංගම දුරකථන දෙකක් හා මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්ද රඳවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකථන 05ක් ද සොයාගෙන තිබේ.
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ සිරමැදිරිවලින් පසුගිය දින කිහිපය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකරනු ලැබූ වැටලීම්වලදී ජංගම දුරකථන රැසක්ද හමුවිය.
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික ඒකකයේ නිලධාරීන් සමග සිදුකළ එම මෙහෙයුමට රාජ්‍ය බුද්ධි සේවයේ නිලදාරියෙකු හා විශේෂ අංශයේ නිලධාරියෙකුද එක්වූ බවත් වාර්තා විය.
එම වැටලීම්වලදි ඇතැම් සිරකරුවන් තමන්ගේ සිරමැදිරිවල පොළොව යට සූක්ෂමව සඟවා තිබූ දුරකථන පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගැනීමට සමත් විය.
අද සිදුකරන ලද පොලිස් විශේෂ කාර්ය බළකා සෝදිසි මෙහෙයුමේදී බූස්ස බන්ධනාගාරයේ විශේෂ අපරාධකරුවන් රඳවා සිටින A අංශයේ පළමු සිර මැදිරියේ සිට 46වන සිරමැදිරිය දක්වා පරීක්ෂා කර තිබේ.
එහි අංක 1 සිට 15 දක්වා සිරමැදිරිවල වහලය හා සිවිලිම පරීක්ෂා කර ඇති අතර එහිදී ලොකු පැටීගේ සිර මැදිරියේ සිවිලිමේ සඟවා තිබූ ස්මාට් ජංගම දුරකථන 04ක් හා සාමාන්‍ය දුරකථනයක් සොයාගෙන තිබේ.
එමෙන්ම දුරකථන බැටරි 03ක්, පවර් බෑන්ක් එකක්, හෑන්ඩ් ෆ්‍රී5ක්, ඩේටා කේබල් 8ක්, චාජර් 6ක් හා සිග්නල් බූස්ටර් 2ක් හා කාන්දම් දෙකක් ද ඔහුගේ සිරමැදිරියේ සිවිලිම තුළ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.
සෙසු දුරකථන A අංශයේ කොන්ක්‍රීට් ස්ලැබ් එක තුළ විශේෂ කොටසකින් සොයාගෙන ඇති අතර එය සූක්ෂ්ම ලෙස භාණ්ඩ සැඟවීමටම සකසන ලද කොටසක් බවද වාර්තා වේ.
ඒ අනුව අද දිනයේදී සිම් පත් 03ක්, ඩේටා කේබල් 21ක්, බ්ලුටුත් හෑන්ඩ්ෆ්රී 01ක්, චාජර් 16ක්, හැන්ෆ්‍රි 11ක්, පවර් බැන්ක් 01ක්, අමතර බැටරි 03ක්, කාන්දම් කැබලි 02ක් හා සිග්නල් බූස්ටර් දෙකක් ද ඇතුළුව ජංගම දුරකථන 15ක් සොයාගෙන තිබේ.

