ඔෂල හේරත්ට එරෙහිව නාගානන්ද ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

court-2

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත්ට එරෙහිව ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

මෙම පෙත්සම අද (05) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකාර ඔෂල හේරත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පෙත්සමට අදාළ සංශෝධන සිදු කිරීමට පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට වග උත්තරකාර පාර්ශ්වය විරෝධය පළකර තිබෙනවා.

ඒ අනුව නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබෙනවා.