එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව උදෙසා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ ඒ අනුව පසුගිය 20 වැනිදා සිට මේ දක්වා වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවය.
පසුගිය කාලය තුළ සහල් සඟවා තබා ගැනීම, වැඩි මිලට අලෙවි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් 170කට අධික ප්‍රමාණයකට නීතිමය පියවර ගෙන ඔවුන්ට ලබා දිය යුතු නීතිමය දඬුවම් ලබා දුන් බවද ඒ මහතා මෙහිදී පැවසුවේය.
මෙම වසරේ මේ දක්වා පමණක් වැටලීම් 5,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හමුවේ මේ වන විට යම් භාණ්ඩවල මිල ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත් කෙසේ වෙතත් භාණ්ඩවල හිඟයක් ඇති නොවීමට ආනයනකරුවන්, දේශීය නිෂ්පාදකයින් සහ භාණ්ඩ සපයන්නන් අතර නිතරම සාකච්ඡා පවත්වන බවත් පැවසූ ඒ මහතා ඒ සඳහා අවශ්‍ය පියවරයන් ගන්නා බවද පැවසුවේය.
තවද මේ වන විට මෙරට පෞද්ගලික අංශය විසින් නිකුත් කරන ගෑස්වල යම් ගෑස් හිඟයක් පවතින නමුත් එම සමාගමට මේ වන විටත් ගෑස් නෞකාවක් රට තුළට පැමිණ ඇතැයි ද එම ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වූ නිෂ්පාදන කටයුතු ඔවුන් මේ වන විට සිදුකරමින් පවතින බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් ගෑස් සඟවා තබා ගැනීමට කටයුතු නොකරන ලෙස තමන් වෙළෙඳ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ එසේ කළ හොත් නීතිමය පියවර ගැනීමටද අධිකාරිය කටයුතු කරන බවය.

