ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කරන ලද්දේ ඇයිදැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් පෙරේදා (22) විමසා තිබෙනවා.
පසුගිය අගෝස්තු 14 වැනිදා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ,කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ පසුගිය නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව ලබාදුන් ප්‍රකාශ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පෙරේදා (22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මෙලෙස විමසා ඇත්තේ.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදුන් අතර ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට ඉඩමක් බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබුණා.
2020 වර්ෂයේ නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහා සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන්ව ඇති බවත් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා..
අදාල නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී ගරු අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට ගරු අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවත් නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් ගරු මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පැවසුවා.
තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.
මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා නියෝග ලබාදීමට නැවත මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වන දින කැඳවීමට නියමිතයි.

