පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්වය හේතුවෙන් වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය සමඟින් වූ සාකච්ඡාවක් අද (01) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේදී ඇති වී තිබෙන ගැටලු, හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අදාළ කටයුතු, සහන සැලසීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ලබා දීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම වැනි අවශ්‍යතාවයන් පිළිබඳව සහ පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකොට එම ආහාර ද්‍රව්‍ය සාධාරණ මිල ගණන් යටතේ ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා විය.
දිවයින පුරා සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමේදී ආපදා තත්වය හේතුවෙන් ළඟා වීමට නොහැකි ප්‍රදේශයන් වෙත ආරක්ෂක අංශයන් හි සහාය ලබා ගනිමින් එම සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරරාජා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්, පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, ලංකා සතොස ආයතනයේ සභාපති, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති සහ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හ වෙළෙඳුන්ගේ සංගමයේ පිරිසක් සහභාගී වූහ.

