දිට්වා ආපදාව හේතුවෙන් අඹන්ගඟකෝරලේ කොහිලවත්ත පාලම කැඩී ගොස් මාස 7ක් ගතවී ඇතත් එය නවීකරණය කිරීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට එරෙහිව එහි ප්‍රදේශවාසීන් අද (08) රත්තොට ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.
මෙම පාලම කැඩීයාම හේතුවෙන් ගම්මාන හයක පවුල් 800ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් විරෝධතාවය පැවති ස්ථානයට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා හා අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එම් ස්වර්ණකුමාර මහතා පැමිණ ඇති අතර එහිදී පාලම ඉදිකිරීම සඳහා මුදල් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමග දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු මහත්මියට දුරකථන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කර ඇත.
ඒ අනුව සතියක් ඇතුළත පාලම නවීකරණය කිරීමට එකඟ වීමත් සමග මෙම විරෝධතාකරුවන් පිරිස විසිර ගොස් ඇති බව ද වාර්තා වේ.

