අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව….

News Iamges.00_00_00_03.Still1186

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු අද (22) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.

ඒ ඔහු සේවය කරන ආයතන පරිශ්‍රය තුළදීය.

ඝාතනය පිටුපස පාතාල සබඳතාවක් ඇතැයි විමර්ශකයින් සැක පළකරන අතර මියගිය තැනැත්තා සමගි ජන බලවේගයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාව වෙනුවෙන් තරගවැදුණු අපේක්ෂකයෙකි.

අද පෙරවරු 8.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර අදාළ සිද්ධිය CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එහි දැක්වුණේ වෙඩික්කරුවකු පැමිණ එහි සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට උත්සාහ දරන ආකාරයයි.

නමුත් එහිදී ඔහුගේ පිස්තෝලය ක්‍රියාත්මක නොවන අතර උත්සාහය ව්‍යර්ථ වූ වෙඩික්කරු එම ස්ථානයෙන් පලාගොස් තිබුණි.

වෙඩිල්ලේ ඉලක්කය වූ තැනැත්තා එහිදී වෙඩික්කරු හඹා ගොස් ඇත.

නමුත් ඉතා සුළු කාලයකදී වෙනත් රිවෝල්වරයක් රැගෙන යළි පැමිණෙන වෙඩික්කරු සිය ඉලක්කය වූ පුද්ගලයාට  වෙඩිතබයි.

වෙඩික්කරු පලායන අතර වෙඩි පහර කෑ තැනැත්තා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය, එහි පැදිකරු අපරාධයෙන් පසු අතුරු මාර්ගයක ධාවනය කරන අයුරු cctv කැමරාවල සටහන්ව තිබුණි.

අනතුරුව ඔහු එම යතුරුපැදිය ආඳාගල ප්‍රදේශයේදී දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා ශ්‍රීරන් කෝසල ද සිල්වා නැමැත්තෙකි.

අම්බලන්ගොඩ විද්‍යාල මාවතේ පදිංචිකරුවෙක් වන ඔහු සමගි ජන බලවේගයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාව වෙනුවෙන් තරගවැද ඇති බව ද පොලීසිය පවසයි.

මියගිය තැනැත්තා 2014 සහ 2015 වසරවලදී සිදු වූ පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ යැයි විමර්ශනවලදී හෙළිවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මින් පෙර අවස්ථාවක එම පුද්ගලයා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

එමෙන්ම කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා පාතාල කල්ලි නායක සමයං නැමැත්තා ඝාතන සිද්ධියට අදාළව ද ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට පත්වූවෙක් බවත් විමර්ශකයන් සඳහන් කළේය.

එහිදී ඔහු තුවාල ලැබූ අපරාධකරුවන් සඟවාගෙන ප්‍රතිකාර සිදුකර ඇති බවත් සඳහන්ය.

අද සිදුවූ ඝාතනයෙන් පසු ඔහුගේ ජංගම දුරකථනය අස්ථානගතව ඇති අතර ඒ පිළිබඳ ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිදුකළ සොයාබැලීමේදී එය මරණකරුගේ ඥාතියෙකු සඟවාගෙන සිටියදී සොයාගෙන තිබුණි.

එම දුරකථනය පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, ඝාතනය වූ ශ්‍රීරන් කෝසල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී නම් අපරාධකරු සමග ඊයේ රාත්‍රියේත් දුරකථනයෙන් සම්බන්ධවී ඇති බවය.

ලොකු පැටී සමග පමණක් නොව ඔහුගේ ප්‍රධාතම ප්‍රතිවාදියා වන කරන්දෙණියේ සුද්දා සමග ද මෙම පුද්ගලයා සබඳතා පවත්වා ඇති බවත් සඳහන්ය.

එමෙන්ම ඔහු කොස්ගොඩ සුජී හා ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඌරගහ ඉන්දික වැනි අපරාධකරුවන් සමගත් සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

පොලීසිය පැවසුවේ මොහු එම අපරාධකරුවන්ගේ මුදල් පාලනය කර ඇතැයි ද තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව ඔහුගේ ඝාතනය කුමන පාර්ශ්වයකින් මෙහෙයවූවාද යන්න පිළිබඳ විමර්ශනය කිරීම අපහසු කරුණක් බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන්, ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොල්ස් අධිකාරී ලකී රන්දෙණිය සහ ගාල්ල අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් බන්ධනාගාරය තුළ නිදහසේ ජංගම දුරකථන භාවිත කරමින් අපරාධ මෙහෙයවීම දිගින් දිගමට සිදුකරන බවය.

ඔහු පැවසුවේ ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කළ ද මේ දක්වා ඔවුන් මෙය පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේ එම තත්ත්වය හේතුවෙන් අපරාධකරුවන් මෙලෙස සිය ක්‍රියා සිදුකරන බවය.

මෙම වෙඩි තැබීමත් සමග මෙම වසර ආරම්භයේ සිට අද දක්වා වෙඩි තැබීම් 111ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 55 දෙනෙකු තුවාල ලබා තිබේ.