අද වර්ජනයට එක් නොවූවන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

pmd-news-cover

අද (15) දිනයේ ක්‍රියාත්මකවූ වැඩ වර්ජනය සඳහා ඇතැම් වෘත්තීය සමිති සහයෝගය නොදක්වා සේවයට වාර්තා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ජනාධිපති මාධ්‍ය අංශයට තහවුරු කර තිබෙනවා.

එසේම සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් අද උදෑසන සූදානම් කර තිබූ බවට PSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංකා විදුලිබල මණ්ඩල මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී තිබෙනවා.

ලංකා බැංකු ශාඛා 265 ක් හා මහජන බැංකු ශාඛා 330 ක් විවෘත කර සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යන බවට එම බැංකු සභාපතිවරුන් තහවුරු කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක අතර ලංගම වෘත්තීය සමිති 08 න් එක් වෘත්තීය සමිතියක් හැර අනෙක් වෘත්තීය සමිති 7 ම සහයෝගයෙන් කටයුතු කළ බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.