අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීට ඇප…..

LAW

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා  ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාරදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සැකකරුට නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හම්බන්තොට ලුණු සමාගමට ඇසුරුම් මිලදී ගැනීමේදී රුපියල් 14,300,000 ක් පාඩුවක් රජයට සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.